ශ්‍රීලනිපයෙන් මෛත්‍රී පන්නන්න චන්ද්‍රිකාගෙන් සැලැසුමක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්සංථාවට ශෝධන ඉදිරිපත් කර පක්ෂයේ නායකත්ව වෙනසක් සිදු කිරීමේ සැලසුමක් ඇතැයි “අරුණ” පුවත්පත වාර්තා කර තිබේ.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව හරහා අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර පක්ෂ නායකයින්ගේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවද සඳහන් වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමත් සමග මෙම අර්බුදය උත්සන්න වී ඇති බවද එහි දැක්වේ.

පවතින දේශපාලන අර්බුදය විසඳීම සඳහා කෙටි කාලයක් සඳහා එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධතා පැවැත්වීමට අවස්ථාව ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනකු ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී ඉල්ලා ඇති බවද පැවසේ.

එළැඹෙන 04 වැනිදාට පෙර අදාළ තීරණයට එකඟත්වය පළකරන ලෙසටද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි එම පුවත්පත වාර්තා කර තිබේ.

කෙසේවුවද, වාර්තා වන අන්දමට මේ සඳහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දැඩි මැදිහත්වීමක් ඇතැයි ද පැවසේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේවන විට සිටින මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් වැඩි පිරිසක් ඇයට හිතවත් අය බවද පැවසේ.

මේ අනුව එළැඹෙන 04 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මහා සමුළුවේදී ඊට සහභාගි වන පාක්ෂිකයින් හරහා නායකත්වයට විරෝධයක් මතුකිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවද එහි දැක්වේ.

මැතිසබේ ශ්‍රීලනිප මන්ත්‍රීවරු 25ට බැහැලා


එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පසුගිය මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) සහ එක්සත් ජාතික පක්ෂයට එක්වීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතිරිව ඇති මන්ත්‍රී ධූර ගණන ද 25 දක්වා පල්ලම් බැස තිබේ.

මහමැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර 96ක් හිමිවූ අතර ඉන් 57 දෙනකු ඒකාබද්ධ විපක්ෂයට එක්විය.

ඉතිරි 39 දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ අතර හිටපු අගමැති රනිල් වික්රමසිංහට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී ඉන් 16 දෙනකු ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව ඊට පක්ෂව ඡන්දය ලබා දුන්නේය.

පසුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යළිත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය ලබාදෙන ශ්‍රීලනිප ය සමග 23 දෙනාගේ කණ්ඩායමට එක්ව කටයුතු කළ අතර සෙසු මන්ත්‍රීවරු 15 දෙනා වෙනම කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කළේය.

පසුගිය නොවැම්බර් 11 වැනිදා එම 15 දෙනාගේ කණ්ඩායමේ ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තිලංග සුමතිපාල හා එස්.බී. දිසානායක යන මන්ත්රීවරුන් 4 දෙනා හැර සෙසු 11 දෙනා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගත්තේය.

ඊට අමතරව පසුගිය දිනවල සිදුවූ දේශපාලන අර්බුදය සමග ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කළ කණ්ඩායමේ 24 දෙනා සමග සිටි ඒ.එච්.එම්. ෆවුසි, පියසේන ගමගේ හා මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂය සමග එක්වූහ.

මෙම තත්ත්වය මත ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇත්තේ මන්ත්‍රීවරු 25 දෙනෙකුගේ සහය පමණි.