"පාර්ලිමේන්තුව යක්කු නටන පිට්ටනියක් බවට පත් වුනා" දයාසිරි ජයසේකර

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීමට ඔක්තෝබර් 26 වන දින ජනාධිපතිවරයා ගත් ක්‍රියා මාර්ගය මේ වන තෙක් නීතිය ඉදිරියේ අවලංගු තත්ත්වයකට පත්ව නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

"ඒ නිසා කාටවත් කියන්න බැහැ මේක ව්‍යවස්ථානුකූල නොවන කැරැල්ලක් කියලා. එහෙම කියන්න බැහැ. මේක තවමත් කිසිම උසාවියකින් ගත්ත තීන්දුව වැරදියි කියලා කියලා නැහැ".
කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්වීමත් සමග රටේ ජනතාවට විශාල සහන ප්‍රමාණයක් ලබා දීමට හැකි වූ බව ‍දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සදහන් කළේ දෙසැම්බර් 21 සිකුරාදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

"ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති වු ක්‍රියාදාමයත් එක්ක පාර්ලිමේන්තුව තහනමට ලක් උනේ නැහැ. තහනමට ලක් වුණේ නැතිකමත් එක්ක, ජනාධිපතිතුමා ගත් තීන්දුවත් එක්ක මේ පාර්ලිමේන්තුව යක්කු නටන පිට්ටනියක් බවට පත් වුණා".

රටටම එපා වූ මිනිසුන්


එම අවස්ථාවේදී කථානායක කරු ජයසූරිය මහතා ගත් තීන්දු සම්බන්ධයෙන් තමාටද ප්‍රශ්න ගණනාවක් මතුවු නමුත් දැන් ඒ සම්බන්ධ‍යෙන් කතා කිරීමෙන් පළක් නොවන බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා මේ රටටම එපා වූ මිනිසුන් බවට පත් වූ බවයි.

පැවැති තත්ත්වයන් සමග එය වළක්වා ගැනීමේ හැකියාවක්ද නොතිබුන බව පෙන්වා දෙන නීතිඥ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ අද වන විට පාර්ලිමේන්තුව ජනතාවගේ වෛරයට පාත්‍ර වූ ස්ථානයක් බවට පත්ව ඇති බවයි.

පාර්ලිමේන්තුව නැවත ගෞරවනීය ස්ථානයක් බවට පත් කරගැනීමට හැකි වනුයේ ඉදිරි මහ මැතිවරණයකින් පමණක් බවට ඔහු එහිදී විශ්වාසය පළ කළේය.
gossip lanka