ආනන්දි සෂිදරන්ට මුල්‍ය චෝදනා

උතුරු පළාත් සභාවේ කාන්තා, ළමා හා පුනරුත්තාපන කටයුතු අමාත්‍ය ආනන්දි සෂිදරන් මහත්මිය අමාත්‍යධූරය දැරු සමයේ අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 320 ක මුදලක් වංචා වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීමට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ නියෝග යටතේ ත්‍රිපුද්ගල කමිටුවක් පත්
කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

ඒ අනුව උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී. වී. කේ. සිවඥානම් විසින් විසින් සිදුකළ පැමිණිල්ලක් මත අදාළ කමිටුව පත් කොට ඇත.

ආනන්දි සෂිදරන් මහත්මිය අමාත්‍යධූරයට පත්වීමෙන් අනතුරුව අමාත්‍යාංශය තුළ මුදල වංචා කොට ඇත්තේ උතුරු පළාතේ වකුගඩු රෝගීන් සහ හෘද රෝගීන් සඳහා සහන සැලසීමට පිහිටුවා ඇති අරමුදලින් වන බවට ශිවඥානම් මහතා පැමිණිළි කොට ඇති බවද ආණ්ඩුකාර කාර්යාල නිලධාරීන් පැවසීය.

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, ගණකාධිකාරී සහ උතුරු පළාත් සභාවේ විගණන අධ්‍යක්ෂකවරයාගෙන් යුතු කමිටුවක් පත්කොට ඇති අතර, අදාළ කමිටුව මේ වන විට පරීක්ෂණ පවත්වන බවද ආණ්ඩුකාර නිලධාරීන් පැවසූහ.

සිද්ධිය සම්බන්ධයෙන් ආනන්දි සෂිදරන් මහත්මියගෙන් විමසීමේදී ‍ඇය පැවසූවේ තමන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් ඉවත්ව වෙනම දේශපාලන පක්ෂයක් ඇති කිරීමෙන් අනතුරුව තමාට එරෙහිව දෙමළ ජාතික සන්ධානය ගෙන යන කුමන්ත්‍රණකාරි ක්‍රියාවන්ගේ එක් ක්‍රියාමාර්ගයක් ලෙස මෙය හදුන්වාදිය හැකි බවයි.

තමන් එවැනි වංචාවක් සිදුකොට නොමැති බවද හිටපු අමාත්‍යවරය පැවසුවාය.

සටහන - මාධව කුලසූරිය - වවුනියාව