අධිකරණ තීන්දු ගැන 'පොහොට්ටු' මන්ත්‍රීට ප්‍රශ්නයක් !

අධිකරණය ලබාදෙන තීන්දු පිළිගත්තද එමඟින් ලබාදෙන තීන්දු සියල්ල නිවැරැදිද යන්න පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායමට ප්‍රශ්නයක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.

ඔහු සඳහන් කර සිටියේ පළාත් සභා මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් සහ එෆ්.සී.අයි.ඩී. ආයතනය සම්බන්ධයෙන් නඩු පවරා තිබුණද අධිකරණය තවමත් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා නොදුන් බවයි.

ඊයේ (27දා) බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් එබව පැවසු මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

''පසුගිය කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය ගැන හරි හරියට කතා කළා. පළාත් සභා මැතිවරණය පවත්වන්න කියලා අපි අධිකරණයට ගියා. තවමත් ඒ නඩුවේ තීන්දුව නැහැ. එෆ්.සී.අයි.ඩී. එකට නඩුවක් තියෙනවා. අපි අධිකරණයේ තීන්දු පිළිගත්තට අධිකරණය දෙන තීන්දු සියල්ල නිවැරැදිද කියන ප්‍රශ්නය අපිට තියෙනවා.

අද පළාත් සභා හයක මැතිවරණය නැහැ. අධිකරණය මැතිවරණය කල් දාන්න බැරි බව තීන්දු කළත් පාර්ලිමේන්තුවට ගෙනත් කොට්ඨාස කඩන්න ඕනේ කියලා වක්‍ර ක්‍රමයකින් මැතිවරණය කල් දැම්මා. ඒකට විරුද්ධව අධිකරණයට ගියත් තවම තීන්දුව නැහැ.

කොට්ඨාස කඩලා ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවාම ඒක පරාජයට පත්කළා. අලුත් කොට්ඨාස වාර්තාව ලැබුණු බව කථානායකතුමා කිව්වට තවම අපිට එහි පිටපත් ලැබිලා නැහැ. අපි සටන ගෙන ගියේ ප්‍රජාතන්ත්‍රවාදීව මහජනයාගේ ඡන්ද අයිතිය දෙන්න කියලයි. නමුත් අධිකරණයෙන් ඒ අයිතිය ලැබුණේ නැහැ.

විපක්ෂ නායකයා ගැන අදටත් තීන්දුවක් නැහැ :

දැන් විපක්ෂ නායක විදියට මහින්ද රාජපක්ෂ මහතාව තෝරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කථානායකවරයාගේ තීන්දුව සිකුරාදා ලබාදෙන බව කිව්වා. අදටත් තීන්දුව නැහැ. පළමුවැනි දවසේ සම්පන්දන් කිව්වා වැඩි කණ්ඩායමට විපක්ෂ නායකකම දෙනවා කියලා. දෙවැනි දවසේ කියනවා විපක්ෂ නායකලා දෙන්නෙක් ඉන්නවාලු. මොකද්ද ඒ කතාවේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය.

දෙමළ සන්ධානයේ ඡන්ද ටිකත් එක්කම ආණ්ඩුවට තියෙන්නේ 102යි. ඒ නිසයි අපි කිව්වේ බහුතරයක් නැති පාර්ලිමේන්තුවක් තියෙන නිසා මැතිවරණයකට යමු කියලා.

යුද හමුදා කඳවුරු ඉවත් කරන්න කියලා දෙමළ සන්ධානය කෑ ගැහුවාට අද උතුරේ යුද හමුදාව තියන්න කියලා පෙළපාළි යනවා. යුද හමුදාව නොතිබුණා නම් අද ජනතාව අනාථ වෙනවා.''