අපහාසයට වන්දි ඉල්ලා ගාමිණී වියන්ගොඩ නඩු මගට

පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන වි‌ජේසේකර සහ පුජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත යන හිමිවරුන් විසින් කරන ලද ප්‍රකාශවලින් තමාට සිදු කරන ලද අපහාසයට වන්දි ඉල්ලා සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් ඔවුනට එන්තරවාසි යවා තිබේ.
ඒ, යහපාලන ආණ්ඩුව යටතේ පවතින ලිට්රෝ ගෑස් සමාගම සහ මුදල් අමාත්‍යාංශය යටතේ පවතින සැලසිනේ ආයතනයෙන් 'පුරවැසි බලය' සංවිධානයේ ප්‍රධානියකු වන ගාමිණී වියන්ගොඩ මහතා මුදල් සහ වෙනත් විවිධාකාරයේ අනුග්‍රහ ලබා ඇතැයි ඔවුන් විසින් ප්‍රසිද්ධියේ කරනු ලැබූ ප්‍රකාශයන්ට එරෙහිවය.

එසේම, 'සති අග අරුණ' නැමැති පුවත්පතේ පළ කරන ලද විශේෂාංග ලිපියක් තුළින් ද ඉහත කී අපහාසයම සිදුකොට ඇතැයි පවසා එම පුවත්පතටත්, ඒ ලිපිය ලියූ ලේඛිකාවටත් වියන්ගොඩ මහතා විසින් තවත් එන්තරවාසියක් ද යවා තිබේ.

යහපාලන ආණ්ඩුව යටතේ විවිධ ව්‍යාපෘති හරහා ද, වෙනත් රහස්‍ය ගිණුම් හරහා ද ගාමිණි වියන්ගොඩ මුදල් සහ වෙනත් ආධාර ලබා ඇති බවට ඉහත කී අයවළුන් විසින් විවිධ අවස්ථාවලදී ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශයන් සම්පූර්ණයෙන් අසත්‍ය සහ පදනම් විරහිත වන බවත්, ද්වේෂ සහගත වන බවත් කියන ගාමිණී වියන්ගොඩ මහතා, යහපාලන ආණ්ඩුව යටතේ කිසිම ආයතනයකින් මොනම ආකාරයක හෝ මූල්‍යමය හෝ මූල්‍යමය නොවන කිසිදු ගෙවීමක් හෝ වෙනත් අනුග්‍රහයක්, සෘජුව හෝ වක්‍රාකාරයෙන් තමා කිසි විටෙකත් ලබාගෙන නැති බව අවධාරණය කරයි.

එසේ හෙයින් ඉහත සඳහන් අය චේතනාන්විතව තමාට කරන ලද අපහාසයට ඔවුන්ගෙන් එක් අයෙකුගෙන් රුපියල් මිලියන 500 බැගින් වන වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසි යවා ඇති අතර ඒ මුදල ‌නොගෙවන්නේ නම් ඔවුනට එරෙහිව අධිකරණයේ නඩු පවරා වන්දි ලබා ගන්නා බවද වියන්ගොඩ මහතා අවධාරණය කරයි.
gossip lanka