ජනපති මට නම් ආශිර්වාද කළා - අනිත් අය ගැන දන්නේ නෑ - හර්ෂ ද සිල්වා

තමන් අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමට ගිය අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට තෙරුවන් සරණ පතා වැඩ කටයුතු හොඳින් කරගෙන යාමට ආශිර්වාද කළ බව පොදු සැපයුම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

 "මට ජීවිතේ පළමු වතාවට ඇමතිකමක් ලැබිලා තියෙනවා, මං ගියාම ජනාධිපතිතුමා කිව්වා, තුණුරුවන්ගේ සරණයි වැඩේ ඔබතුමාට ඉතාමත්ම හොඳින් කරගෙන යන්න ආශිර්වාද කරනවා කියලා. මං දන්නෙ නෑ අනිත් අයට මොනවා කිව්වද කියලා, මට නම් එහෙම කිව්වා" යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ජනතා මතයට කන් දෙමින් අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කළ යුතුය යන මතයේ තමන් සිටින බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.