ඉන්දියාව තෙල් ටැංකි තුට්ටු දෙකට ඉල්ලයි : ටැංකියකට මාසක ගෙවීම රු.100යි

කිසිදු ගිවිසුමක් අත්සන් නොකර ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 14ක් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට බදුදී ඇත්තේ එක් ටැංකියක් මසකට රුපියල් සියයට (100) ආසන්න මුදලකට බව වාර්තා වේ.

වසර 2003 පෙබරවාරි 17 වැනිදා අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව වසර 35ක කාලයක් සඳහා එහි වූ තෙල් ටැංකි 99න් 14ක් මෙසේ ලබාදී ඇති බව පැවසේ.
මාස හයක් ඉක්ම ගිය තැන එම ගනුදෙනුව නිල ගිවිසුමක් අනුව ක්‍රියාත්මක කළ යුතුව තිබුණද වසර 14ක් ගතව ඇතත් මේ වන තෙක් ගිවිසුමට එළඹ නොමැති බවද වාර්තා වේ.

ලංකා ඉන්දියන් තෙල් සමාගම දැනට භාවිත කරනු ලබන තෙල් ටැංකි 14 සඳහා වසරකට ඩොලර් 100 ක මුදලක් ඛනිජ තෙල් සංස්ථාවට ලබා දෙන බව ඛනිජතෙල් සම්පත් සංවර්ධන හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා හෙළිකර තිබේ.

ඒ අනුව එක් ටැංකියකට වසරක් සඳහා (ඩොලරය රුපියල් 170 පදනමින්) ඩොලර් 7.1ක් ලැබෙන අතර එය ශ්‍රී ලංකා රුපියල් 1207කි.

එක ටැංකියක ඉන්ධන ලීටර් 12,500ක් ගබඩා කළ හැකිය.

මෙය වසර ගණනකට පෙර සිදුවූ ක්‍රියාවලියක් බැවින්ද එය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ගනුදෙනුවක් බැවින්ද එහි ගැටලු නිරාකරණය කර ගත යුත්තේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් බව මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයෙන් උසස් නිළධාරියකු මාධ්‍යට පවසා තිබේ.

අරුණ