මන්ත්‍රීවරු බහුතරයක් මුදලට කෑදරයි - කෙහෙලිය

පාර්ලිමේන්තුව තුළ බහුතරයක් ඉන්නේ රටට ආදරය කරන නොව මුදලට සහ ඇමතිධුරයට ආදරය කරන මහජන නියෝජිතයන් යයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

 එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමතිවරු පත් කිරීමෙන් පසුව එම පක්ෂයේම මන්ත්‍රීවරුන් තැන තැන කරන ප්‍රකාශයන් අනුව ඔවුන් රටට දක්වන ඇල්ම මැනවින් පැහැදිලි වන බව ඉකුත්දා (29) උඩුනුවරදී පැවැති උත්සවයකදී රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

හාරීස් සමාජ සහයෝගීතා පදනමේ  සභාපති හාරිස් හාජ්ජියාර් මහතාගේ ධන පරිත්‍යාගයෙන් උඩුනුවර ප්‍රදේශයේ පාසල් දරු දැරියන් අටසිය පනස් දෙනකු සඳහා පාසල් උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ මන්ත්‍රීවරයා එහිදී මේ බව සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි සඳහන් කරන එක්සත් ජාතික පක්ෂයේ මහජන නියෝජිතයන් අද තමන්ට රුපියල් කෝටි පනහක් අහිමි වීම සහ කැබිනට් අමාත්‍යධුරයක් අහිමි වීම පිළිබඳව ප්‍රසිද්ධියේම අදහස් දක්වනවා. දැන් අපට පැහැදිලියි, මේ මහජන නියෝජිතයන් සේවය කරන්නේ රටට ද නැත්නම් මුදල් හම්බකර ගැනීමටද යන්න පිළිබදව.

මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණියහොත් මේ රට ලේ විලක් බවට පත්වන බවට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ඇතැම් මැති ඇමැතිවරුන් ප්‍රකාශ කරනවා. නමුත් මෙරට ජාතිවාදය වපුරන්නේ කවුද යන්න ජනතාව හොඳින්ම දන්නවා. කිසිදු අයුරකින් ජාතිවාදයක් රට තුළ ව්‍යාප්ත කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අලුත්ගම දර්ගා නගරයේ ඇතිවූ ජාතිවාදී සිද්ධිය පිටුපස සිටියේ කවුදැයි අද ජනතාව දන්නවා. ඒ අයුරින්ම මම නියෝජනය කරන ඉගෙන ප්‍රදේශයේ පසුගිය දිනක ඇතිවූ සිද්ධියද ඇතැම් දේශපාලනඥයන් විසින් ව්‍යාප්ත කළ බව පැහැදිලියි.

එම දේශපාලඥයන් පැහැදිලිව උත්සාහ කරන්නේ රට තුළ ජාතිවාදය වපුරා සිය දේශපාලන කාර්යභාරය ඉටු කරගැනීමට යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන වීරසිංහ අලුත්ගමගේ, මානෙල් බණ්ඩාර මහත්වරුන්ද ෆාරීස් සමාජ සහයෝගීතා පදනමේ සභාපති ෆාරීස් හාජ්ජියාර් මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

නුවර නදීක දයා බණ්ඩාර