තවමත් විපක්ෂ නායක සම්බන්ධන් තමයි ! - සුමන්දිරන්

පාර්ලිමේන්තුව තුළ තවමත් ප්‍රධාන විපක්ෂය වශයෙන් කටයුතු කරන්නේ තම පක්ෂය බවත් ඒ අනුව විපක්ෂ නායක ලෙස තවමත් කටයුතු කරන්නේ ආර්. සම්බන්ධන් මහතා ම බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

ඒ මහතා ප්‍රකාශ කළේ කථානායකවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතා
විපක්ෂ නායකවරයා ලෙස නිවේදනය කළ බවත් තමන් ඊට විරෝධය පළ කිරීමෙන් අනතුරුව අවසන් තීරණයක් සිකුරාදා දිනයේ ලබාදෙන බව පැවසූ බවත්ය.

එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස සහ කැබිනට් ඇමති ධුර තුනක් දරමින් කටයුතු කරද්දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ම වෙනත් මන්ත්‍රීවරයකුට විපක්ෂ නායක ධුරය දැරිය නොහැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

සුමන්දිරන් මහතා මෙසේ ප්‍රකාශ කළේ ඊයේ (18) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

කෙසේවෙතත් මෙම කාරණය පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට බඳුන් වෙද්දී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේ මීට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති ධුරය දැරූ සමයේදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස කටයුතු කරද්දී චන්ද්‍රිකා මහත්මියගේම පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස මහින්ද රාජපක්ෂ මහතාම විපක්ෂ නායක ධුරය දැරූ බවයි.

එහෙත් ඒ යුගයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කැබිනට් ඇමති ධුර නොදැරූ බව ඊට පිළිතුරු වශයෙන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පෙන්වා දෙන ලදී.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත්කිරීම පිළිබඳව අදහස් දක්වමින් ආර්. සම්බන්ධන් මහතා මාධ්‍යවේදීන් වෙත පැවසුවේ මුලින්ම මහින්ද රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇතිද යන්න සලකා බැලිය යුතු බවයි.


gossip lanka