සන්ධානයෙන් පැන්න අයට එරෙහිව කිසිම පියවරක් ගන්නෙ නෑ - මහින්ද

එක්සත් ජාතික පෙරමුණු රජය සමඟ එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡාවක් සිදු කෙරී නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

 ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවති එජනිස විධායක සභාවේ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
ඔවුන්ට එරෙහි ක්‍රියාමාර්ග ගන්නවා නම් එය තීරණය කළ යුතුවන්නේ මීළඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී බවයි ඒ මහතා පැවසුවේ.

ඒ කිසිදු මන්ත්‍රීවරයෙක් පක්ෂයෙන් ඉවත් කළ බවට ලිපි යොමු කිරීමේ කිසිදු අදහසක් තමන්ට නොමැති බව පැවසූ ඒ මහතා සන්ධානය ශක්තිමත් කරගෙන ඉදිරියට යාම තම අරමුණ බව පැහැදිලි කළේය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මීට පෙර අදහස් දක්වමින් ශ්‍රීලනිප මහලේකම් මහාචාරය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ ඕනෑම පැත්තකට එකතුවීමට මන්ත්‍රීවරුන්ට නිදහස ඇති බවත් ඔවුන්ට ඇමතිකම් නොදී සිටීමට හේතුවක් නොමැති බවත්ය.