'මහින්ද කළේ මෝඩ වැඩක්' – නීතීඥ ගෝමින් දයාසිරි

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ එක්වී මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරය ලබා ගනිමින් සිදුකළේ අඥාන ක්‍රියාවක් බව මහින්ද හිතවාදියකු වන ජනාධිපති නීතිඥ ගෝමින් දයාසිරි මහතා පවසයි.

“මහින්ද කළේ මහ මෝඩ වැඩක්. ඔහුට කවුරු උපදෙස් දුන්නද කියලා තේරෙන්නේ නැහැ. ඔහුගේ නීතිඥවරුන්ද මේ උපදෙස් දී තිබෙන්නේ
කියන ප්‍රශ්නය තියෙනවා. කාලයක් මමත් ඔහුගේ නීතිඥවරයා ලෙස කටයුතු කළා. ඒ කාලේ මම දුන් උපදෙස් ඔහු නිවැරදිව ක්‍රියාත්මක කළා.” යයි පැවසු ඒ මහතා, මේ වනවිට සිදුවන දේශපාලන වෙනස්කම් අනුමත කළ නොහැකි බව කියා සිටියේය.

ජනාධිපතිවරයා විසින් පත්කළ අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලයේ තනතුරු දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (03) නිකුත්කළ අතුරුතහනම් නියෝගයට අනුව අනුව මේ වන විට අග්‍රාමාත්‍යවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් නොමැති බව ගෝමින් දයාසිරි මහතා පැවසිය.

රටේ ඉතාම අස්ථාවර තත්වයක්

මේ වනවිට රටේ ඉතාම අස්ථාවර තත්වයක් නිර්මාණය වී ඇති බවත් විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාට තීරණ ගැනීමේ බලය පැවරී ඇති බවත් ඒ මහතා පවසයි.

එසේම මේ මොහොතේ ජනාධිපතිවරයා ඉතා නිවරදි තීන්දු ගතයුතු අවස්ථාවක් යැයි ද ඒ මහතා පෙන්වා දෙයි.

එසේම මහමැතිවරණයකට යෑමට ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන නොමැති වුවද ජනාධිපතිවරණයකට යා හැකි නීතිමය පසුබිමක් පවතින බව ගෝමින් දයාසිරි මහතා පවසයි.