'පවු වසා ගැනීමේ අවශ්‍යතාවයක් නෑ' - මහින්ද

හමුදාවට සහ තමන්ට පව් වසාගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් රැකදීම සඳහා සටන් කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. උතුරු පළාත් හිටපු අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටු වන බවද ඔහු කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ තංගල්ල හේනකඩුව පුරාණ විහාරයේ ඊයේ (31) පැවැති ආගමික උත්සවයකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

‘‘උතුරු පළාත් හිටපු අමාත්‍යවරයා කියූ පරිදි හමුදාවට හෝ අපිට පව් වහගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි එය බොහොම පැහැදිලිව කියන්න ඕන.

අපි කළේ රට වෙනුවෙන් ජාතියක් වෙනුවෙන් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් රැකදීම සඳහා වූ සටනක්. ත්‍රස්තවාදයට විරුද්ධවයි අපි සටන් කළේ. දෙමළ ජනතාවට නෙවෙයි. ත්‍රස්තවාදයට පන්දම් අල්ලපු සමහරුන්ට අද පේන්නේ හැම හමුදා නිලධාරියාම වැරදි විදියට. මම කණගාටු වෙනවා මෙහෙම ප්‍රකාශ කිරීම ගැන.

රටේ තත්ත්වය පිළඳව ජනතාව හරියට තීන්දු කරයි. ජනතාව දන්නව දැන් මේ ආණ්ඩුවට බැහැ කියල. ඒ නිසා ඉදිරියේදී මැතිවරණ ජයග්‍රහණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ''