ජනපති - අගමැති - විපක්ෂනායක උදා වූ නත්තල වෙනුවෙන් ජනතාවට සුභාශිංෂණ පළ කරයි

උදා වූ නත්තල මෙරට සියලූ කිතුණු ජනතාවට ප‍්‍රීතිමත් නත්තලක් වේවායි සුභාශිංෂණ පළ කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනතාව අන්ධකාරයෙන් ආලෝකයට පැමිණීවීම සඳහා ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ සම්ප‍්‍රාප්තිය සමරමින් සමස්ත ලෝකවාසී ජනතාව නව බලාපොරොත්තුවලින් පිබිදෙන අසිරිමත් අනාගතයක ඇරඹුම මෙය බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
නත්තල යනු උත්තුංග දැක්මක් සහිත උතුමෙකුගේ අපරිමිත ගුණ සමූහය යළි සිහිපත් කරන සමයයි. උන්වහන්සේගේ අධිෂ්ඨානයන් සඵල කිරීමට ඉටා ගත යුතු කාලයයි. විනාශය කරා යෑමේ පුළුල් දොරටුවලින් ඇතුළු වීමට පොරකන්නන් හට, නත්තල නව ජීවනයට යෑමේ පටු දොරටුව දෙස යළි හැරී බැලීමට අනුබල සපයයි. සටකපටකම් හා රැවටීම් මගින් ජනතා මුලාවෙහි හෙළනට කැසකවන්නන් බහුල ලොවකට උන්වහන්සේ පැවසුවේ ‘‘ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවුණොත් ස්වර්ගයට ඇතුළු විය නොහැකිය’’ යන්නයි. උන්වහන්සේ පැතු උත්තරීතර මනුෂ්‍යත්වය, සහජීවනය, පරිත්‍යාගය පිළිබඳ සුබ ආරංචිය මෙම නත්තලෙහි සිව්දිග පැතිරේවා යන්න ජනාධිපතිවරයා නිකුත් කළ නත්තල් දින පණිවුඩයේ සඳහන්.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද නත්තල් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. නත්තල සතුට සමරන සමය බවත් වඩාත් යහපත් අනාගතයක් දෙස බලා අතීතය සිහිපත් කරන කාලයක් බවත් එහි සඳහන්.

ජේසුස් වහන්සේගේ ජීවිතය, සිඳී බිඳී ගිය ලොවට අපේක්ෂාව සහ සංහිඳියාව රැගෙන ආ බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මෙය කුල මල භාෂා වෙනසකින් තොරව සියලූ ශ‍්‍රී ලාංකිකයින් සහෝදරත්වයේ හා මිත‍්‍රත්වයේ හැගීමෙන් ක‍්‍රියා කිරීමට සුදුසු අවධිය බවද එම නිවේදනයේ සඳහන්.

 විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද නත්තල් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. සියලූ පාපයන්ට සමාව දිය හැකි බවත්, ආදරයට වඩා විශාල බලයක් නොමැති බව ජේසුස් වහන්සේ උට්ටානයෙන් අප හට ඔප්පු කර ඇති බවයි එහි දැක්වෙන්නේ. ආදරයෙන් සෑම ප‍්‍රශ්නයක්ම, සෑම පසුබැස්මක්ම ජයගත හැකි අතර සෑම නපුරු බලවේගයක්ම පරාජය කළ හැකි බව උන්වහන්සේ අපහට පෙන්වා දී ඇති බවද එම නිවේදනයේ සඳහන්.

මෙම ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් මෙනෙහි කිරීමට නත්තලට වඩා හොඳ කාලයක් තවත් නොමැති බවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. සත්‍යයේ පිහිටා වැඩ කිරීමේ වැදගත්කම සහ කුහකකමින් හා දෙබිඩි මනසකින් තොරව පේ‍්‍රමයෙහි සැබෑ බලය මාර්ගෝපදේශය කර ගනිමින් වැඩ කිරීමේ වැදගත්කම නැවත අපහට මතක් කර ගැනීමට ද මෙය හොඳම කාලය බවයි මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.