මලික් හා මනෝට ඇමතිධූර එපා කියයි !

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතා නව ආණ්ඩුවේ කිසිදු අමාත්‍යධූරයක් බාර නොගැනීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර, අවශ්‍ය වුවහොත් තමා හා රිෂාඩ් බදුයුදීන් ද අමාත්‍යධූරයන් අත්හැරීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ද
පවසා ඇති බව වාර්තා වේ.

අද (18) උදෑසන පැවති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරව මෙම තීරණය ගෙන ඇති බව ද පැවසේ.

නව රජයේ කැබිනට් මණ්ඩලය අද බොහෝ දුරට දිවුරුම්දීමට නියමිතව ඇති බව ද මේ අතර වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජාතික ආණ්ඩුවක් නොමැති අවස්ථාවක කැබිනට් මණ්ඩලය තිස් දෙනෙකු නොඉක්මවිය යුතු වන අතර, මේ හේතුව නිසා මන්ත්‍රීවරුන් මෙම තීරණය ගෙන ඇති බව ද සඳහන් වෙයි.

නව කැබිනට් මණ්ඩලය තුළ ද පසුගිය කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර දැරූ කිහිපදෙනෙකු එම අමාත්‍යාංශවලම දිවුරුම්දීමට නියමිතව ඇති බව ද වාර්තා වෙයි.