බැඳුම්කර චූදිතයන්ට එරෙහි නඩු පැවරීම කඩිනම් වෙයි

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ වගඋත්තරකරුවන්ට එරෙහි පරීක්ෂණ අවසන් කර නියමිත කාල රාමුවක් තුළ ඔවුන්ට නඩු පැවරීමට තීරණය කර තිබේ. මෙම බැඳුම්කර වංචාවට අදාළව දැනට රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන්ට මෙතෙක් චෝදනා පත්‍ර භාරදී නොමැති අතර ඔවුන්ට අදාළ චෝදනා පත්‍ර කඩිනමින් භාරදීමටද තීරණය කර ඇත.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ පරීක්ෂණ කටයුතුවල වත්මන් ප්‍රගතිය සහ ඉදිරි පියවර ගැන සොයා බැලීම සඳහා ඊයේ (21දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදී මෙම තීරණයන්ට එළැඹ තිබේ.


මෙම ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති කොමිෂන් සභාවට බොරු සාක්ෂි ලබාදුන් චූදිතයන්ට කඩිනමින් නඩු පැවරීමටද මෙහිදී තීරණය වී ඇත. හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති බවත් අධිකරණ නියෝග අනුව ඔහු ඉදිරිපත් කරන ලෙස ලංකා රජය සිංගප්පූරු රජයට දන්වා ඇති නමුත් සිංගප්පූරු රජය මේ වනතෙක් නිසි පියවර ගෙන නොමැති බවත් මෙහිදී හෙළි විය.