'ජනාධිපති සමග ගැටෙන්න අදහසක් නැහැ' - එජාපය කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හෝ ඔහු සමග ගැටුමක් ඇතිකර ගැනීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර නැතැයි එජාප මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජි කාරියවසම් මහතා පවසයි.

''අපි කිසිම විටෙක එතුමා එක්ක හැප්පි හැප්පි වැඩ කරන්නේ නැහැ. අපි විශ්වාස කරනවා එතුමාටයි අපටයි නැවත සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් වෙයි කියලා. පසුගිය කාලයේ මොන මොන ප්‍රශ්න වුණත් අපට එතුමා එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා.'' යයි එජාප මහ ලේකම්වරයා 'ඉරිදා මව්බිම' පුවත්පතට ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරයා සමඟ සුහද ගමනක් යන්න හැදුවත් ජනාධිපතිවරයා කියන්නේ බැඳුම්කර සිද්ධියට හා අනෙකුත් දූෂණ වංචාවලට සම්බන්ධ මැති ඇමැතිවරුන්ට නීතිය ක්‍රියාත්මක කරනවා කියායි. එතකොට එජාපයත් නඩු යටගහන්න දඟලයිද? යයි 'මව්බිම' මාධ්‍යවේදියා කල විමසීමේදී එජාප මහ ලේකම්වරයා මෙසේ සඳහන් කර ඇත.

''අපෝ නැහැ. කාටහරි චෝදනා තියෙනවා නම් සාක්ෂි ඇතිව ඔප්පු කරලා පෙන්නලා නීතියෙන් දඬුවම් දෙන්න. හැබැයි ඒ වගේම අතීතයේ ඉඳලම රාජපක්ෂවරුන්ගේ ක්‍රියාදාමයේ ඉඳන් ඒවා හොයලා දඬුවම් දෙන්න ඕන. වැරැද්දක් කරලා තියෙනවා නම් දූෂණ වංචා කරලා තියෙනවා නම් දෙන දඬුවම් ගැන කිසි ප්‍රශ්නයක් නැහැ.''