විපක්ෂ නායකධූරය මහින්දට !

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවනු ඇතැයි වාර්තා වෙයි.

දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ දැනට පවත්නා තත්ත්වය සලකිල්ලට ගෙන බහුතර විපක්ෂය ලෙස පාර්ලිමේන්තුවේ පෙනී සිටින ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට එම නියෝජනය පැහැදිලිවම ලබා දීමට නියමිත බවයි.

එක්සත් ජාතික පෙරමුණට ආණ්ඩුවේ බහුතරය පෙන්වීම සඳහා දෙමළ ජාතික සන්ධානය සහය දීමත් සමඟ මහින්ද රාජපක්ෂ පාර්ශවය අවධාරණය කළේ තවදුරටත් ඔවුන්ට විපක්ෂය ලෙස පෙනී සිටීමේ හැකියාවක් නොමැති බවයි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්ව මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙසත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහින්ද අමරවීර මහතාත් පත්කර ගෙන තිබුණි. ඒ බව කථානායකවරයා වෙත දැනුම් දී තිබු අතර කථානායකවරයා ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් විවාද කෙරුණු අතර එහිදී එම්.ඒ.සුමන්තිරන් සහ රවුෆ් හකීම් ඇතුළු මන්ත්‍රීවරු පෙන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධූරය දැරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(13) ව්‍යවස්ථාවට අනුව ප්‍රතිපාදන නොමැති බවයි. ඒ අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර විපක්ෂ නායක ධූරය සමබන්ධයෙන් වන ගැටළුව විසඳාගත යුතු බවයි ඔවුන් අවධාරණය කළේ. එතෙක් තවදුරටත් විපක්ෂ නායක ධූරයේ ආර්. සම්බන්දන් මහතා කටයුතු කරනු ඇති බව එම්.ඒ. සුමන්තිරන් මහතා පලිමේන්තුවට දැනුම් දුණි. ඔවුන් මේ සමබන්ධයෙන් කථානායකවරයාට ලිඛිතවද දැනුම් දී තිබේ.

කෙසේවෙතත් මේ වන විට වාර්තා වී ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ එම ඉල්ලීම බලාත්මක නොවනු ඇති බවයි. ඒ අනුව විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවනු ඇති.