රංගේ ගේ නම කැපුවේ ජනපති නොවේ ලු !

පාලිත රංග බණ්ඩාර, රවින්ද්‍ර සමරවීර, ස්වාමිනාදන් යන එජාප මන්ත්‍රීවරුන්ගේ නම් කැබිනට් අමාත්‍ය ලේඛනයෙන් කපා දමා ඇත්තේ ජනාධිපතිවරයා නොව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බව ජනාධිපති කාර්යාල ප්‍රකාශකයකු පැවසිය.

ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා සඳහන් කල ආකාරයට, කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට දින දෙකකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට එජාප නියෝජිතයන් ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම, රන්ජිත් මද්දුම බණ්ඩාර යන පිරිස පැමිණ තිබේ.
එහිදී මුලින්ම මලික් සමරවික්‍රම මහතා ජනාධිපතිට යෝජනා කර ඇත්තේ කලින් ලෙසම ජාතික ආණ්ඩු ගිවිසුම අත්සන් තැබීමටයි.

එය යෝජනාව තදින්ම ප්‍රතික්‍ෂෙප කර ඇති ජනාධිපතිවරයා යෝජිත කැබිනට් මණ්ඩල ලැයිස්තුව ඉල්ලා තිබේ.

එහිදී එජාපය විසින් යෝජිත ඇමතිවරුන් 36 ක ලැයිස්තුවක් ලබා දී ඇති අතර එය 28 තෙක් අඩු කරන්නැයි ජනාධිපති දන්වා ඇත.

අනතුරුව එම ලයිස්තුව පරීක්‍ෂා කල ජනාධිපතිවරයා ඛණිජ තෙල් අර්ජුන රණතුංගට ලබා දීමට විරෝධය පල කර ඇත්තේ එහි පුද්ගලයකු ඝාතනයට ලක් වූ නිසායි. එහිදී අර්ජුන වෙනත් ඇමතිකමට යොදා තිබේ.

ෆොන්සේකාට විරෝධය :

ඉන් අනතුරුව ලයිස්තුවේ සිටි සියළු ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති අතර සරත් ෆොන්සේකා මහතාට ඇමති ධුරයක් දීමටද විරෝදය පල කර ඇත.

අවසානයේ 28 දක්වා ලයිස්තුව අඩු කිරීම ජනාධිපතිවරයා විසින් එජාපයට බාර දුන් පසු පාලිත රංග බණ්ඩාර, රවින්ද්‍ර සමරවීර, ස්වාමිනාදන් යන අයගේ නම් කපා දමා ඇත්තේ එජාප කණ්ඩායම විසිනි.

ජනපති පොලිසිය තමා යටතේ රඳවා ගැනීමේ හේතුව ?

නීතිය හා සාමය අමාත්‍යංශය තමන් යටතේ තබා ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්ට දන්වා තිබේ.

යෝජිත කැබිනට් ඇමති ලයිස්තුවෙන් නීතිය හා සාමය ඇමති ධුරය වෙන් කර තිබුනේ රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා නමිනි.

ජනාධිපතිවරයා ඊට විරුද්ද වෙමින් දන්වා ඇත්තේ තමන් ඝාතන කුමන්ත්‍රණ පරීක්‍ෂන සිදුවන බැවින් එය තමන් යටතේ තබා ගන්නා බවයි.

කලක් මද්දුම බණ්ඩාර මහතා යටතේ නීතිය හා සාමය අමාත්‍යංශය තිබියදී එහි වැඩ කටයුතු කරන ලද්දේ අගමැති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානියා නේදැයි විමසා ඇති ජනාධිපති සිරිසේන මහතා, එනිසා එම අමාත්‍යංශය තමන් යටතේ තබා ගන්නා බවත් එතෙක් එය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවිතිය යුතු බවත් සදහන් කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතු මේ සම්බන්ධයෙන් වන මුල් නම් ලයිස්තුව මේ වන විට සමාජ ජාලයන්හි හුවමාරු වෙමින් ඇත.
gossip lanka