පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සම් විභාගය අද

පසුගිය නොවැම්බර් මස 9 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත‍්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (04) විභාගයට ගැනෙනවා.

ඒ, විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක්
ඉදිරියේයි.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා, බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ , ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප‍්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගයට ගැනෙනවා.

මෙම පෙත්සම් ගොනු කර තිබුණේ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඇතුළු පාර්ශ්ව 13ක් විසින්.

පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත‍්‍රය ක‍්‍රියාත්මක වීම තාවකාලිකව වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය නොවැම්බර් මස 13වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ, ලබන 7 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදියි.

ඒ අනුව අදාළ පෙත්සම් අද, හෙට (05) සහ අනිද්දා (06) විභාගයට ගැනෙනවා.

මේ අතර  මෙම ගැසට් පත‍්‍රයේ සඳහන් ආකාරයට ඉදිරි කටයුතු සිදු කිරීම වළකාලමින් මැතිවරණ කොමිෂන් සභාවට ද ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එම නියෝගය ද දෙසැම්බර් මස 7 වැනි දා තෙක් බලපැවැත්වෙනු ඇති.

පෙත්සම් විභාගයට ගැනෙන අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ‍්‍රයේ ආරක්ෂාව තර කරන ලෙස ඉල්ලමින් අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය ඊයේ (03) කෙසෙල්වත්ත පොලිසීයට පැමිණිල්ලක්ද සිදු කළ බවයි එහි ප‍්‍රධාන ලේකම් අජිත් ජයන්සුදර පැවසුවේ.