පොලිස් අඹුවන් 12 දා මහ පාරට බහින්න යයි !

ඉහළ දමනු ලැබූ සංයුක්ත දීමනාව පොලිස් නිලධාරීන්ට ලබා දෙන ලෙස ඉල්ලා එම නිලධාරීන්ගේ බිරින්දෑවරුන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ගේ සහභාගිත්වයෙන් එළැඹෙන දෙසැම්බර් 12 වැනිදා කොළඹ උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය අගෝස්තු 23 වැනිදා සිට රජයේ සියලුම සේවකයින්ගේ සංයුක්ත දීමනාව වැඩි කිරීම සිදු කළේය.
අගෝස්තු මාසයට ද දින හතක (සතියක) කාලයකට මේ දීමනාව ලබාදී තිබේ.

පොලිස් කොස්තාපල් නිලයට මෙතෙක් ගෙවූ දිනකට රුපියල් 350ක දීමනාව 700ක් දක්වාත්, සැරයන් සිට පොලිස් පරීක්ෂක දක්වා ලබා දුන් රුපියල් 400ක දීමනාව 800 දක්වාත්, ප්‍රධාන පොලිස් පරීක්ෂක සිට ඉහළ නිලධාරීන්ට ලබාදුන් රුපියල් 500 දීමනාව රුපියල් දහසක් දක්වාත් වැඩි කිරීමට කටයුතු කර ඇත.

කෙසේවුවද, රජයේ අනෙකුත් නිලධාරීන්ට එම නිලයන්ට අදාළ දීමනා ලබා දෙන අතර පොලිස් නිලධාරීන්ට පසුගිය අගෝස්තුවෙන් පසුව ගෙවුණු මාස දෙකේ වැඩිකළ දීමනාව ලබාදී නොමැත.

එහෙත් රාජ්‍ය බුද්ධි තොරතුරු කොට්ඨාශයේ නිළධාරින්ට මාස දෙකක දිමනාවද ජනාධිපති, අගමැති හා ඇමති අරාක්ෂක කොට්ඨාශවල නිළධාරින්ට ගෙවුණු මාසයකට අදාළ ගෙවීම් සිදු කර ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කර නොමැති නිසා පෙර ගෙවූ සංයුක්ත දීමනාව සෑම මසකම 10 වැනිදාට ගෙවන බවයි.