දේශපාලන අර්බුදය : විදුලිබල ක්ෂේත්‍රයත් කොට උඩ - ටෙන්ඩර් අර්බුද උත්සන්නයි

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය හේතුවෙන් විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලි කිහිපයක්ම මුළුමනින්ම ඇනහිට ඇති බව වාර්තා වේ.

විදුලි ජනන සැලසුම්වලට අනුව ඉදිරි විදුලි අවශ්‍යතා වෙනුවෙන් අනුමැතිය සඳහා යොමු කළ සහ යොමු කිරීමට නියමිතව තිබූ යෝජනා
කිහිපයක්ම එසේ ඇනහිට තිබේ.

කැබිනට් අනුමැතිය සඳහා යොමු කළ සහ යොමු කළ යුතුව තිබූ යෝජනා 10කට ආසන්න ප්‍රමාණයක් එසේ ඇනහිට ඇති බව ආරංචිමාර්ග පැවැසීය.

මේ යෝජනා අතර ලංවිම මඟින් ක්‍රියාත්මක කරන දිගුකාලීන සම්ප්‍රේෂණ සැලසුමට අනුව සම්ප්‍රේෂණ පද්ධතියේ විශ්වසනීයත්වය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාවට නැංවිය යුතු ව්‍යාපෘතීන් කිහිපයක්ම ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී එම ව්‍යාපෘතිවල ප්‍රසම්පාදනයන් තෝරාගත් සාර්ථක ටෙන්ඩර්කරුවන්ට පිරිනැමීමට අනුමැතිය ලබාගත යුතුව ඇති අතර එම කටයුතු මේ වනවිට ඇනහිට තිබෙන බවද වාර්තා වේ.

ඊට අමතරව විදුලි ජනන ව්‍යාපෘතිවලටද ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සහ විවිධ නඩත්තු කටයුතුවල ප්‍රසම්පාදන සඳහාද අවශ්‍ය අනුමැතීන් ලැබීමේ ප්‍රමාදය තුළ විදුලි බල ක්ෂේත්‍රය විවිධ ගැටලුවලට මුහුණදීමේ තත්ත්වයකටද පත්වන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

අනුමැතීන් ප්‍රමාදවීම හේතුවෙන් නඩත්තු කටයුතු පමා වී බලාගාරවල කාර්යක්ෂමතාව අඩුවීම, විදුලි ජනන සැලසුම් බලාගාර ඉදිවීම ප්‍රමාදවීම ඇතුළු අනුමැතිය සඳහා යොමු කළ හා යොමු කිරීමට නියමිත යෝජනාවලට අදාළ සියලු සංවර්ධන කටයුතු මේ වනවිට ඇනහිට තිබේ.

ගල් අඟුරු ටෙන්ඩරයක් ගැන යලිත් ආන්දෝලනයක් :

මේ අතර කැබිනට් මණ්ඩලයක් පවා නොමැති අවස්ථාවක විදුලි බලය ජනනය සඳහා ගල් අඟුරු ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.එම්.එස්.බටගොඩ මහතාට චෝදනා එල්ලවී ඇත.

මිලදී ගැනීමට නියමිත එම ගල් අඟුරු ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 100ක් පමණ වන අතර ගණුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 5400ක් (රුපියල් කෝටි 540) පමණ වේ.

කෙසේවුවද අමාත්‍යංශ ලේකම්වරයා පැවසුයේ, ගල් අඟුරු මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යළිත් වරක් තමන් වෙත එල්ල වී තිබෙන චෝදනා පදනම් විරහිත බවයි.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් අචාර්ය බී.එම්.එස්.බටගොඩ මහතා සඳහන් කළේ ගල් අඟුරු මිලදී ගැනීමේදී පසුගිය කාලයේ පැවති ඒකාධිකාරිය බිඳදමා ඒ සම්බන්ධයෙන් විනිවිදභාවයක් ඇති කිරීමට තමන් කටයුතු කළ බවයි.

ඒ අනුව දිගු කාලීන මිලදී ගැනීම් මෙන්ම හදිසි අවස්ථාවන්හිදී කෙටි කාලින මිලදී ගැනීමද සිදුකරන බව ලේකම්වරයා සඳහන් කළේය. මේ ඕනෑම අවස්ථාවකදී ටෙන්ඩර් කැඳවා විනිවිදභාවයකින් යුතුව සිදුකරන අතර තමන් මෙම විෂය බාරගැනීමට පෙර ගල් අඟුරු මිලදී ගැනීමේ ඒකාධිකාරියක් පැවති බව බටගොඩ මහතා කියා සිටියේය.

"විදුලිය ජනනය කිරීමේදී ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් සිදුවන්නේ ගල් අඟුරු දහනය කිරීමෙන් තාප විදුලිය ජනනය කිරීමයි. ඒ අනුව එම මිලදී ගැනීම් සිදුවන ක්‍රියාපටිපාටියක් පවතිනවා. සාමාන්‍යයෙන් මාස හයකට පමණ ගල් අඟුරු සංචිතයක් පවත්වා ගෙන යා යුතු අතර අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය යන කාලය අතර මුහුද රළු වීම නිසා ගල් අඟුරු ප්‍රවාහනය සිදුනොවන හෙයින් එම කාලයට පෙර අවශ්‍ය ගල අඟුරු තොග ගෙන්වා ගත යුතුයි. එය තමා මෙහි ස්වභාවය."

තවම ටෙන්ඩර් විවෘතකර නැහැ :

ඒ අනුව මේ වන විට ප්‍රශ්නයකට තුඩු දී තිබෙන ගල අඟුරු ටොන් ලක්ෂ තුනට අදාළව ටෙන්ඩර් කැඳවා ඇති අතර මෙතෙක් ඒවා විවෘත කර නැති බවද බටගොඩ මහතා කියා සිටියේය.

"මේ මොහොතේ තියෙන ප්‍රශ්නය කැබිනට මණ්ඩලයක් නැතිකම නම් මට අහන්න තියෙන්නේ කැබිනට මණ්ඩලයක් හෝ ආණ්ඩුවක් නැති වුණා කියලා විදුලිය උත්පාදනය කරන්න එපාද කියලා. එහෙම වුණා නම් දැන් මේ කරන චෝදනා එල්ල වෙන ස්වභාවය කොහොම වෙයිද?

අනිත් කාරණය ඉදිරි කාලය තුළ තමයි ගල් අඟුරු ප්‍රවාහනය කරන්න පුළුවන් මාස 4ක කාලයක් පමණයි. ඉන් පසු මුහුද රළු වීම නිසා ප්‍රවාහනය කරන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය සංචිත ගෙන්වා ගැනීම කරන්න සිදුවෙනවා. එහෙම නොවුනොත් විදුලිය නිපදවන්න අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණවත් නැහැ.

මෙවැනි තත්ත්වයකදී අපි නියමිත ක්‍රමවේදයට කරන්නේ. මෙතන කිසිම වංචාවක් වී නැහැ. කාලයක් තිස්සේ සිදුවුණ වංචාව නතර කළේ මම. ඒ පැවති ඒකාධිකාරිය බිඳවැටීම ඇතැම් අයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. "

ඒ අනුව ආචාර්ය බී.එම් .එස්.බටගොඩ මහතා අවධාරණය කරන්නේ විවෘත ටෙන්ඩර් කැඳවීමක් කර සියලු මිලදී ගැනීම් සිදුකරන බවයි.