වැස්සත් නැතත් ලබන වසරේ විදුලි කප්පාදුවක්

සැලසුම් කර තිබූ පරිදි අත්‍යවශ්‍ය විදුලි බලාගාර ඉදිනොකළ නිසා ලබන වසරේ බරපතළ විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩල ඉන්ජිනේරු සංගමය හෙළිකර සිටී.

වසර හතරකට වතාවක් සාමාන්‍යයෙන් රටට දැඩි නියඟයකට මුහුණදීමට සිදුවන බවත් වසර හතරක් තිස්සේ මහා පරිමාණ එකදු බලාගාරයක් හෝ
ඉදිනොකිරීම නිසා වැස්සත් නැතත් ඇතිවන විදුලි ඉල්ලුම අඛණ්ඩව ලබාදීම අභියෝගයක් යැයි ද එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවැසීය.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට සුදුසුකම් සහිත පිරිසක් පත් කරන තෙක් එම කොමිසම සමඟ කිසිදු රාජකාරිමය කටයුත්තක් නොකිරීමට එම සංගමය තීරණය කර ඇත. එනිසා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉදිරි සැලසුම් සියල්ල අවුල් වී ඇතැයි ද කුමාරවඩු මහතා කියා සිටියේය.

යෝජිතව තිබූ සාම්පූර් ගල්අඟුරු බලාගාරය, කෙරවළපිටිය ස්වාභාවික විදුලි බලාගාරය (එල්.එන්.ජී.) ඇතුළු මෙගාවොට් 300ක් පමණ මහා පරිමාණ විදුලි ව්‍යාපෘති කිහිපයක්ම නවතා දමා ඇත.
කාර්යබහුල වෙලාවලදී සාමාන්‍යයෙන් මොගාවොට් 2500කට වැඩි විදුලි ඉල්ලුමක් ඇති වන බවත් නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය මඟින් නිපදවන මෙගාවොට් 900ක විදුලි ධාරිතාව නොවන්නට අඛණ්ඩව විදුලිය ලබාදීම අභියෝගයක් බවද කුමාරවඩු මහතා පැවැසීය.

රට තුළ ඇති දේශපාලන අස්ථාවරත්වයත්, මණ්ඩලය තුළ ඇති අර්බුදයත් නිසා රට අඳුරට වැටීමේ අනතුර උග්‍ර වී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.