මීලග ජනාධිපතිවරණයට පෙර ආණ්ඩු පෙරළියක් - ප්‍රසන්න

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය රටේ සියලු මාධ්‍ය නිහඬ කර ජනමතය තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

අගමැතිවරයා කළු මාධ්‍ය ලෙසින් ඇතැම් මාධ්‍ය හැඳින්වීම මෙන්ම ලේක්හවුස් ආයතනයට කඩා පැන්න හිටපු සභාපතිවරයා දිනමිණ කර්තෘවරයාට තර්ජනය කිරීම ද එම වැඩපිළිවෙළේ පියවර බව පෙන්වා දුන් රණතුංග මහතා එ. ජා. පය සැරසෙන්නේ නැවතත් භීෂණ යුගයකට රට ගෙන යාමට බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළ දී ඊයේ (26) උදෑසන පැවැති හමුවක් අමතමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

රටේ බහුතර ජනතාව දැන් බලාගෙන ඉන්නේ මහ මැතිවරණයක් පැවැත්වෙන්නේ කවදාද කියලයි. ජනතාවගේ බලාපොරොත්තුව මහ මැතිවරණයක් වුණාට සමහරුන්ට ඕනෑ වෙලා තියෙන්නේ දිගින් දිගටම බලයේ රැඳි ඉන්නයි. ජනමතය උරගා බලන්න බය කණ්ඩායම් කිහිපයක් දැන් රටේ ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය වගේම ජනතා විමුක්ති පෙරමුණත් ජනමතයට බයයි.

ජනතා විමුක්ති පෙරමුණ දැන් එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිතියක් වෙලා ඉවරයි. තවදුරටත් මේ රටේ ප්‍රගතිශීලී ජනතාව එක්ක කටයුතු කරන්න ජනතා විමුක්ති පෙරමුණට බැහැ. මේ රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණ පක්ෂ දෙක බවට එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ පත්වුණේ ඒ පක්ෂ දෙකේ වර්තමාන නායකයන්ගේ ක්‍රියාකලාපය නිසයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා කතා කරන්නෙම ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, මානව අයිතිය ගැන. හැබැයි රනිල්ට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න කිසිම අයියිතියක් නැහැ. වසර 25ක් තිස්සේ පක්ෂ නායකත්වයේ බලෙන් එල්ලී ගෙන ඉන්න, කිසිදු පුද්ගලයකුට නායකත්වයට එන්නට ඉඩ නොදෙන රනිල් කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ?

රනිල් පෙනී ඉන්නේ මාධ්‍යවේදීන්ගේ මිතුරෙක් විදියටයි. හැබැයි මේ රටේ මාධ්‍යවේදින්ගේ පරම සතුරා රනිල් ඇතුළු එක්සත් ජාතික පක්ෂයයි. එ. ජා. ප පාලන කාලයේ තමයි මේ රටේ මාධ්‍යවේදීන් වැඩිම ප්‍රමාණයක් ඝාතනයට ලක්වුණේ. එ. ජා. පයේ සමහරු එක්නැලිගොඩ, ලසන්ත ගැන කතා කරනවා. හැබැයි කවුරුත් ප්‍රේමකීර්ති, රිචඩ් ද සොයිසා, තේවිස් ගුරුගේ ගැන කතා කරන්නේ නැහැ.

අපි දැක්කා පසුගිය දිනයක රනිල් වික්‍රමසිංහ කලු මාධ්‍ය ගැන කතා කරනවා. මාධ්‍යයට තර්ජනය කරන්න රනිල් වික්‍රමසිංහට තියෙන අයිතිය මොකක්ද? අපි පැහැදිලිව කියනවා රනිල්ගේ තර්ජනය ඔතැනින් නවතින්නේ නැහැ කියලා. තර්ජනයෙන් පස්සේ එන්නේ මර්දනය. මර්දනය කිරිම, ඝාතනය කිරිම බටලන්දේ නිර්මාතෘවරුන්ට අලුත් දෙයක් නෙමෙයි කියලා අපි කියන්න කැමැතියි.

අපි දැක්කා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් ඇමැති ධුරවල දිවුරුම් දුන්න වහාම රාජ්‍ය මාධ්‍ය ආයතනවල ඇති වුණ තත්ත්වය.ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන ක්‍රිෂාන්ත කුරේ නමැත්තා ආයතනයට කඩා වැදිලා දිනමිණ පුවත්පතේ කර්තෘවරයාට තර්ජනය කළා. මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් මාධ්‍යවේදීන් හොයා හොයා ආයතනය පුරා ඇවිද්දා.

ඒ විතරක් නෙමෙයි ඒ මාධ්‍යවේදීන්ගේ තනතුරු වහාම ඉවත් කරන්නැයි ආයතනයේ මානව සම්පත් අංශයට නියෝග කර තිබෙනවා. කාගේ හයියක් අරගෙන ද මේ සභාපතිවරුන් දෙකයි පනහේ මැරයන් වගේ හැසිරෙන්නේ කියන ප්‍රශ්නය අපට තියෙනවා. වැඩ භාරගන්නත් ඉස්සර මෙහෙම නම් හරියට සභාපති පුටුවේ වාඩි වුණොත් මාධ්‍යවේදීන්ට අත් වන ඉරණම කුමක්ද කියලා අපි අහනවා.

එක්සත් ජාතික පක්ෂයට ඕනෑ වෙලා තියෙන්නේ ජනාධිපතිවරණයට පෙර රටේ ජනමතය තමන්ට අවශ්‍ය විදියට හදා ගන්නයි. ඒකට තියෙන ප්‍රධානතම බාධකය මාධ්‍ය කියලා ඔවුන් දන්නවා. ඒ නිසයි මාධ්‍යවේදීන් හට තර්ජනය කරලා නිහඬ කරවන්න හදන්නේ. එහෙම තර්ජනය කරලා මේ රටේ මාධ්‍ය නිහඬ කරන්න බැහැ. එහෙම කරන්න අපි ඉඩ තියන්නෙත් නැහැ.

අපේ අරමුණ කුමන හෝ මැතිවරණයක් පවත්වා ගැනීමට ආණ්ඩුව පොළඹවා ගැනීමයි. ඒ මැතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාව අපට තියෙනවා. දැන් අපි වෙනදටත් වඩා ශක්තිමත්. එළැඹෙන ජනාධිපතිවරණයට පෙරාතුරව මේ ආණ්ඩුව ආයෙත් වරක් පෙරළන්න අපි සූදානම්.

– ප‍්‍රදීප් අනුර කුමාර