ජනපතිට ලේකම්වරුන් සමග රටේ පාලන කටයුතු කිරීමට සිදුවන පළමු අවස්ථාව මෙයයි - ප‍්‍රතිභා මහානාමහේවා

විධායක ජනාධිපතිවරයකුට කැබිනට් මණ්ඩලයක් නොමැතිව අමාත්‍යාංශ ලේකම්වරුන් සමග රට පාලනය කිරීමට ලැබෙන ප‍්‍රථම අවස්ථාව මෙය යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා මහතා  ඊයේ (03 දා) පැවසීය.

අභියාචනාධිකරණයේ අතුරු තහනම් නියෝගය නිසා අගමැතිවරයාට සහ කැබිනට්‌ මණ්‌ඩලයට එම ධුරවල කටයුතු කළ නොහැකි බවත්, එම නිසා
ජනාධිපතිවරයාට අමාත්‍යාංශ ලේකම්වරුන් සමග රජයේ ඉදිරි වැඩකටයුතු කරගෙන යැමට සිදුවන බවත් ඒ මහතා කීය. ජනාධිපතිවරයාට මෙම හැකියාව ලැබෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරුන් ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙන නිසා බවද ඒ මහතා අවධාරණය කළේය.

රටේ ඇතිවී තිබෙන ව්‍යවස්‌ථා අර්බුදය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩුවක්‌ විභාග වීමට නියමිත බවත් එය පාදක කරගෙන අභියාචනාධිකරණයට රටේ අගමැතිවරයා සහ කැබිනට්‌ මණ්‌ඩලය සම්බන්ධයෙන් ගතයුතු පියවර සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක්‌ සිදුකිරීමේ හැකියාවද ඇති බවද ඒ මහතා කීය.

අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ලෙස කටයුතු කළ හැකි බව පිළිගැනීමක්‌ සිදුව නැති බවද ඒ මහතා කීය. කෙසේ වෙතත් මෙම අතුරු තහනම් නියෝග නිසා අගමැති ඇතුළු කැබිනට්‌ මණ්‌ඩලයටත් ඔවුන්ගේ කාර්ය මණ්‌ඩලයටත් එම ධුරවල කටයුතු කිරීමේ හැකියාව අත්හිටුවා තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

- දිවයින