'ජනපතිට විකල්පයක් නැහැ, රනිල් අගමැතිවිය යුතුයි' - එජාපෙ දැඩි ස්ථාවරයක

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කිරීම හැර ජනාධිපතිවරයාට වෙන විකල්පයක් නොමැති බවත්, ජනාධිපතිට ඔහුත් එක්ක වැඩ කරන්න පුළුවන්ද නැද්ද කියන ඒවා දෙවැනි කාරනා බවත් එක්සත් ජාතික පෙරමුණ පවසයි.

කොළඹ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එජාපෙ
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා එබව අවධාරණය කර සිටියේය.

මෙයට පෙරත් ජනාධිපතිවරු කැමති නොවන අයට අගමැති ධුර ලබා දීමට සිදුවූ බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කිරීම හැර වෙන විකල්පයක් ජනාධිපතිවරයාට නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසිය.

''මෙයට පෙරත් ජනාධිපතිවරු කැමති නොවන අයට අගමැතිධුර දෙන්න වුනා. ඞී. බී විජේතුංග මහතා 94 දි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පත්කළා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය 2001 දී රනිල් වික්‍රමසිංහ මහතා පත්කළා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය 2004දී ලක්ෂ්මන් කදිරගාමර් මහතා පත් කිරීමට කැමති වුනත් පාර්ලිමේන්තු කන්ඩායමේ විශ්වාසය දිනා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා නිසා එතුමාව පත් කළා.

ඒ නිසා මේ සම්බන්ධව පූර්වාදර්ශ තියෙනවා. මෙතනදි බලපාන්නේ බහුතරයේ කැමැත්ත මිසක් පුද්ගලික සම්බන්ධයන් නෙමෙයි.

ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම බරපතල වරදක් :

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අගමැතිවරයෙකු පත්කිරීම පිලිබඳව එක විධි විධානයයි තියෙන්නේ. 42 හතරවන උපවගන්තිය අනුව පාර්ලිමේන්තුවේ උපරීම විශ්වාසය ඇති පුද්ගලයා කවුද කියන මතයට ජනාධිපතිවරයා එන්න ඕන. ඒ මතයට එන්න ඕන තමන්ගේ කල්පනාව මත නෙමෙයි සාක්ෂි මත ඒ තීරණය ගත යුතුයි.

එක්සත් ජාතික පෙරමුණ කියා සිටිනවා රනිල් වික්‍රමසිංහ මහතා තමයි අපි අගමැති විදියට නම් කරලා තියෙන්නේ කියලා. දෙමළ ජාතික සන්ධානයත් කියා සිටිනවා ඔක්තෝම්බර් 26ට පෙර තත්ත්වයට යන්න ඕන කියලා.

එනිසා ජනාධිපතිවරයාට වෙන විකල්පයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කළ යුතුමයි. නැත්නම් ඔහු ව්‍යවස්ථාව කඩකිරීමේ බරපතල වරදට හසුවෙනවා නියතයි.

කෙසේවුවද, ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී (03) එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සමග පැවති සාකච්ජාවේ දී ද අවධාරණය කර ඇත්තේ පාර්ලිමේන්තුවේ 225ක් වන සියලුම මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන්නැයි තමන්ට දිව්රුම් පෙත්සම් ලබාදුන්නා ද තම එය කිසිඳු ලෙසකින් සිදු නොකරන බවයි.