‘පක්ෂයේ නැති ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ඇති කරන්න රනිල්ට බෑ‘‘ ජනපතිගෙන් රනිල්ට තවත් පහරක්..!

තම පක්ෂය තුළ නැති ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ ඇති කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඊයේ (05) පෙරවරුවේ ජනපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

වසර 25 ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටින රනිල් වික්‍රමසිංහ මහතා එහි පසුපෙළ කිසිවෙකුට හිස එසවීමට ඉඩ නොදෙන බවත්, රටේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ඉහළින් කතා කරන ඔහු පළමුව තම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී කරගතයුතු බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.
එසේම පවතින දේශපාලන නොසන්සුන්තාවය ගැටලුවක් බවට පත්කර නොගනිමින්  මහජන සේවාවන් සහ සංවර්ධන වැඩපිළිවෙළ සක්‍රීයව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නිලධාරින් කැපවිය යුතු බවත් කුමන හේතුවක් නිසාවත් රටේ සංවර්ධන ක්‍රියාදාමය සහ මහජන සුබසාධන සේවාවන් අඩපණ නොවිය යුතු බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.