මෛත්‍රී තවත් අවුලකට අර අඳී !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ව්‍යවස්ථාදායක සභාව අතර අර්බුදයක් ඇතවීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ. ඊට හේතුව වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු වී පවතින විනිසුරු තනතුරු සඳහා ව්‍යවස්ථාදායක සභාව විසින් ලබාදුන් නිර්දේශ ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමයි.


ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් 11 දෙනෙකුගෙන් සමන්විත වන අතර කෙසේ වෙතත් මේ වනවිට ඇත්තේ විනිසුරුවරුන් 09 දෙනෙකු පමණි. ඒ නොබෝ දිනකින් විශ්‍රාම යාමට නියමිත ඊවා වනසුන්දර මහත්මියද සමගයි. ඉතිරි පුරප්පාඩු දෙක සඳහා ව්‍යවස්ථාදායක සභාව විසින් ගාමිණී අමරසේකර සහ එස්. තුරෙයිරාජා යන විනිසුරුවරුන්ගේ නම් පසුගිය ඔක්තෝබර් 25 වැනිදා ජනාධිපතිවරයා වෙත යවා තිබේ. කෙසේ වෙතත් ඔවුන් තවමත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපතිවරයා විසින් පත්කර නොමැත.

මේ වනවිට වාර්තා වන්නේ ඔවුන් දෙදෙනා පත් කිරීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි. ඒ වෙනුවට කේ.කේ. වික්‍රමසිංහ මහතා සහ දීපාලි විජේසුන්දර මහත්මිය ජනාධිපතිවරයා විසින් නම්කර ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.

මේ අතර අභියාචනාධිකරණයේ සභාපති තනතුරට ව්‍යවස්ථාදායක සභාව විසින් නිර්දේශ කළ කේ.පී. ප්‍රනාන්දු මහතා පත් කිරීම ද ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළේය.

ඊයේ ව්‍යවස්ථාදායක සභාව එහි සභාපති, කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර එහිදී ජනාධිපතිවරයාගේ තීරණ සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් වී තිබේ. එහිදී ජනාධිපතිවරයාගේ යෝජනාවට එකඟතාවය පළකර ඇත්තේ ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා සහ ජනාධිපතිවරයාගේ නියෝජිතයා පමණි. කෙසේ වෙතත් සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය ජනාධිපතිවරයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කෙරුණු අතර ඒ නීතිය, පොලීසිය, රාජ්‍ය සේවය ස්වාධීන කිරීමේ අරමුණෙනි. ඒ අනුව ඒකී ආයතනවල තනතුරු පත් කිරීමේදී ජනාධිපතිවරයා සතු බලය කප්පාදු කොට වැඩි බලතල ව්‍යවස්ථාදායක සභාවට ලැබුණු අතර කෙසේ වෙතත් ජනාධිපතිවරයා නැවතත් ව්‍යවස්ථාදායක සභාවේ බලතල ඉක්මවා කටයුතු කිරීමට සූදානම් වන බවක් පෙනී යයි. එසේ වුවහොත් මෙය තවත් බරපතල අර්බුදයක් බවට පත්වනු ඇත.

lankanewsweb