ජාතිවාදයට එරෙහි ජවිපෙන් පුළුල් පෙරමුණක් !

එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමඟ බැඳී සිටින දෙමළ, මුස්ලිම් දේශපාලන ව්‍යාපාර ජවිපෙ ගොඩනඟන පුළුල් පෙරමුණට එක්කරගත යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත අනාවරණය කළේය.
ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේ විශේෂයෙන්ම ඉදිරි මැතිවරණවලටද සුපුරුදු පරිදි ජාතිවාදය පාවිච්චි කිරීමේ සූදානමක් ප්‍රබල පක්ෂ දෙකෙන්ම පෙන්නුම් කරන බැවින් ජාතිවාදයට එරෙහිව මෙම පුළුල් පෙරමුණ තුළ වැදගත් සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බවය.

අද එජාපය සහ ශ්‍රී ලනිපය ජනතාව ප්‍රතික්ෂේප කරන තැනට පත්ව ඇති බවත් ජයග්‍රහණය කළ හැකි පෙරමුණක් ජනතාවට අවශ්‍ය බවත් පෙන්වා දෙන ඒ මහතා, එම නව පෙරමුණ සෑදීමේ කර්තව්‍යයට ජවිපෙ මැදිහත් නොවුණහොත් ජනතාව නැවත තෝරා ගන්නේ ඉහත කී පක්ෂ දෙක පමණක් බව ප්‍රකාශ කරයි.

එම නිසා මෛත්‍රි, මහින්ද, රනිල් තම බල වුවමනාව වෙනුවෙන් සිදුකරන ක්‍රියාමාර්ග අතුගා දමා රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ පුළුල් කරගැනීමටත් ආර්ථික සමානාත්මතාව හා ජාතික සමඟිය ඇති කිරීමටත් අවශ්‍ය සටනට ජවිපෙ සම්පූර්ණයෙන්ම මැදිහත් වන බවද ඔහු වැඩිදුරටත් කීය.