මහින්දගේ උදාහරණ අධිකරණයට බලපෑමක් හෝ පීඩනයක් ?

මහින්ද රාජපක්ෂ මහතා පෙන්වාදෙන ආකාරයට ව්‍යවස්ථාවේ වගන්ති වෙන් වෙන්ව කියවිය නොහැකි බව ජ්‍යෙෂ්ඨ නීතීඥ උපුල් කුමර්පෙරුම මහතා පෙන්වා දී තිබේ.

ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් යොදමින් මේ බව තහවුරු කර ඇත.

අදාළ සටහන පහත දැක්වේ.

“මහින්ද රාජපක්ෂ මහත්මයගෙ කතාවෙන් එතුමන් ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයාට අවශ්‍ය ඕනෑම
අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට බලය තියෙනව කියල. ඒ කියන්නෙ අද පත් කරන පාර්ලිමේන්තුව හෙට උනත් විසුරුවන්න පුලුවන් කියල. ඔහු කියන්නෙ ව්‍යවස්ථාවේ 70 වගන්තිය සහ 33(2)ඈ වගන්ති එකට කියවිය යුතු නැති බවයි. එසේ කලහොත් මේ වගන්ති දෙකෙන් එකක් වැඩක් නැති වෙනව. ව්‍යවස්ථාවකට අනවශ්‍ය වගන්ති එකතු වෙන්නෙ නැහැ. 78 ව්‍යවස්ථාව නිර්මාණය වන අවස්ථාවේ තිබුණ අවුරුද්දක් ඉක්මවූ පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමට දී තිබූ බලය අවුරුදු හතරකුත් මාස හයක් ලෙසට සංශෝධනයක් තමයි 19 සංශෝධනයෙන් කරල තියෙන්නෙ. එය කාල සීමාව සංශෝධනය කිරීමක් නිසා මේ වගන්ති දෙක වෙන් වෙන්ව කියවන්න බැහැ.

රාජපක්ෂ මහත්මයා ජාත්‍යන්තර නිදර්ශන කිහිපයක් ගෙනහැර දැක්වූවා. ඉන්දියාව, නෝර්වේ, ප්‍රංශය වැනි රටවල ව්‍යවස්ථාවන්. ඒ රටවල ව්‍යවස්ථාවන්ම රාජ්‍ය නායකයට ලැබුණ බලයක් ගැන ඔහු කිව්වෙ. ඒත් අපේ ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට එහෙම බලයක් ලබා දීල නැහැ. ඒ නිසා ව්‍යවස්ථාවන් ලබා දී ඇති බල රාමුවෙන් පිටතට ඔහුට යන්නට බැහැ. එහෙම උනොත් එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වෙනව.

උසාවිය ඉස්සරහ ඇති නඩුව සහ ප්‍රශ්නයද එයමයි. උසාවිය සලකන්නට සහ අර්ථ නිරූපණය කරන්නට සිදු වන්නේ රටෙහි අද පවතින නීතිය පමනක් වන අතර රටෙහි නීති රාමුවෙන් එපිට කිසිවක් එය තුලට පැමිණෙන්නේ නැත. රාජපක්ෂ මහතාගේ හදිසි විශේෂ ප්‍රකශය සහ ඔහු ගෙන හැර දැක්වූ උදාහරණ අධිකරණයට බලපෑමක් හෝ පීඩනයක් නොවිය යුත්තේ ඒ නිසාය."