අභියාචනාධිකරණ නඩු තීන්දුව විශිෂ්ටයි

අධිකරණ තීන්දුවකින් අග‍්‍රාමාත්‍යවරයකු සහ රජයක් ගෙදර යැවූ අභියාචනාධිකරණ තීන්දුව ඓතිහාසික එකක් බව හිටපු සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
ගාල්ල නගර මධ්‍යයේ ඊයේ (03 දා) පස්වරුවේ පැවැති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා,

”අද මහින්ද රාජපක්ෂගේ හොර ඇමැති මණ්ඩලයට සහ හොර අගමැති ධුරයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මරා සිරා හවුලෙන් අද සිරිසේන තනිවෙලා. මරා පරාද වෙලා. මේ වන විට ජනතා බලය පාර්ලිමේන්තුවේ බලය අධිකරණයේ අපට හිමිවෙලා තිබෙනවා. අද (03 දා) රාත‍්‍රියේ ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡුාවේ දී අප ඉල්ලා සිටිනවා අපේ රජය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස. ලෝකයේ පළමු වරට තමයි අධිකරණ තීන්දුවක් මත අග‍්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලය තහනම් කළේ. අධිකරණ නියෝගයකින් ගෙදර යවපු ලොව ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරයා සහ රජය මෙය වනවා.’’

මට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ගැන ලැජ්ජයි. එයා ගේන්න මම තමයි කටයුතු කළේ එයාට වැඩිය මමත් බැණුම් අහනවා. ශ‍්‍රී ලංකාව ලෝකය පුරා අප‍්‍රසාදයට පත්ව තිබෙනවා. මම මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටීමට කැමැතියි අද සිට මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා කියා ජනමාධ්‍යයේ පළකරන්න කියා. අපේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් අමාත්‍යවරුන් ලෙස හඳුන්වන්න. ශ‍්‍රී ලංකාව පූජා භූමියක් එම පූජා භූමියේ නීති විරෝධී වැඩ කරන්න බැහැ. අපේ හයියට ජනතාව සිටියා. සිරිසේන මරා හවුල අපේ අගමැතිකම හොරකම් කළා. පික් පොකට් ගැහුවා. අගමැතිකමට ආසා වුණේ රාජපක්ෂ පවුලට ඉදිරිපත්ව ඇති නඩු වලින් බේරීමටයි. මනුෂ්‍ය ඝාතන, මූල්‍ය වංචා ඇතුළු නඩු රැුසක් ඔවුන්ට එරෙහිව ඉදිරිපත්ව තිබෙනවා. මම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට කැමැතියි රජය බිහිකිරීමෙන් පසු කඩිනමින් මෙම නඩු ටික අවසන් කරන්න කියලා. යහපාලන රජය අධිකරණයේ ස්වාධීන බව ඇති කළා. එම නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ස්වාධීන නඩු තීන්දු ප‍්‍රකාශයට පත් කළේ. විනිශ්චයකාරවරුන් බය නැතිව නඩු තීන්දු ප‍්‍රකාශයට පත් කළා. මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේ ප‍්‍රකාශයක් කරමින් විනිශ්චයකාරවරුන් බය කරන්න හැදුවා. නමුත් ඒවාට විනිශ්චයකාරවරුන් බය වන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා වර්තමානයේ ලොම් හැලිච්ච හිවලෙක්. අපි සටනක් ආරම්භ කරන්නේ ජයග‍්‍රහණය ලබාගන්න මිස පරාජය අත්පත් කර ගන්න නොවෙයි.

04 වැනිදා සියලූම ජනතාව කොළඹට පැමිණෙන්න. රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස යළි රාජකාරි ඇරඹීමේ අවස්ථාවට සහභාගිවීමට. අපිත් අමාත්‍යාංශවලට ගොස් රාජකාරී කටයුතු ආරම්භ කරනවා. මෙම නඩු තීන්දුව ඓතිහාසික නඩු තීන්දුවක්. රුහුණු රටේ සිටින විට එම නඩු තීන්දුව අපට ලැබුණේ. ඊනියා ආණ්ඩුව පන්නා දැමීමේ වෙඩිමුර දැන් එකින් එක පත්තු වෙනවා.’’

- දිවයින