බුද්ධාගමට තිබෙන ප්‍රමුඛස්ථානය අකුරකින්වත් වෙනසක් කරන්නේ නෑ - අගමැති

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේදී හෝ පවතින ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීමේදී වත්මන් ව්‍යවස්ථාවේ නව වැනි වගන්තිය මගින් බෞද්ධාගමට ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය අකුරකින් හෝ වෙනස් නොකරන අතරම ඒකීය රාජ්‍යය ද ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය මේ සම්බන්ධව එකඟතාවකට පැමිණ සිටින බවත් විපක්ෂයේ ඇතැම් පක්ෂ සමඟ ද මෙය සාකච්ඡා කළ බවත් අගමැතිවරයා කීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගත්තේය. දළදා මාලිගාවට පැමිණි අගමැතිවරයා දියවඩන නිලමේ ප්‍රමුඛ සතර මහා දේවාල බස්නායක නිලමේවරු විසින් පිළිගනු ලැබූහ. අනතුරුව රතු පලස මතින් දළදා මාලිගාවට ගිය අගමැතිවරයා දළදා සමිඳුන් වැඳ පුදා ගනු ලැබීය.

මහනාහිමිවරු බැහැ දැක ආශිර්වාද ලබාගත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් මෙරට ව්‍යවස්ථාව හා ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම පිණිස ත්‍රෛනිකායික මහනාහිමිවරු ගත් පියවර සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහනාහිමිවරු බැහැ දුටු අවස්ථාවේ උන්වහන්සේලාට කෘතවේදීත්වය පළ කළ බව ද කීය.

රජය විශේෂයෙන්ම ඉදිරියේ දී ගමට සහන සලසන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මහනාහිමිවරුන්ට දැනුම් දුන් බව ද අගමැතිවරයා පැවැසුවේය.

මේ අවස්ථාවට ඇමැතිවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, දයා ගමගේ, ලකී ජයවර්ධන, ජේ. සී. අලවතුවල, මලික් සමරවික්‍රම, මහනුවර පුරපති කේසර සේනානායක, මධ්‍යම පළාත් සභාවේ හිටපු ඇමැති තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම, හිටපු මන්ත්‍රී ශාන්තිනි කෝන්ගහගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.