පහෙන් තුනේ කතාවට රංජන්ට උසාවි එන්න නියෝග

රජය විසුරුවා හැරීමට එරෙහිව ඇති නඩුව විභාග කරන විනිශ්චය මණ්ඩලයේ බහුතරය ඉන්නේ තමන්ට පක්‍ෂව බවට කරන ලද අපහාසාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට නිදහසට කරුණු ප්‍රකාශ කරන ලෙසට නියම කරමින් ශේ්‍රෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තු
මන්ත්‍රි රන්ජන් රාමනායකට ඊයේ (03දා) සිතාසි නිකුත් කළේය.

අගවිනිසුරු එච්.එන්.ජේ. පෙරේරා මහතා විසින් ශේ්‍රෂ්ඨාධිකරණයේ ප්‍රධාන ලේඛකාධිකාරි හිටපු ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රදීප් මහමුතුගල මහතාට කරන ලද දැනුම්දීමක් අනුව, මෙලෙස රන්ජන් රාමනායකට මේ මස 07 වැනි දින ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියම කොට ඇත.

'වාද පිටිය' නම් වූ රූපවාහිනි වැඩසටහනකදීත්, තවත් ප්‍රසිද්ධ ස්ථානයකදීත්, රන්ජන් රාමනායක ප්‍රකාශ කොට ඇත්තේ 'ඔය නඩුව විභාග වෙන්නේ 03 දෙනකු නොව 05 දෙනකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් හමුවේ බවත්, ඒ 05 දෙනාගෙන් 03 දෙනකු අපට පක්‍ෂව තීන්දුව දෙනවා' යනුවෙනි.

මේ පිළිබඳව ශේ්‍රෂ්ඨාධිකරණයට නීතිඥවරුන් මෙන්ම විනිසුරුවරුන් කීපදෙනකුගෙන් පැමිණිලි ලැබී ඇති බවද, ඒ අනුව මෙම තීරණය ගෙන ඇති බවද අධිකරණ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

- මවුබිම