අගමැති නම් කළ කැබිනට් මණ්ඩලයේ නීතිය හා සාමය අමාත්‍යධූරය තිබුණේ තමාට බව ඇමතිවරයෙක් කියයි

තමන් විසින් පෙර හොබවන ලද නීතිය හා සාමය පිළිබද අමාත්‍ය ධුරය ඉදිරි දින කිහිපය ඇතුළත නැවතත් තමන් වෙත ලැබෙනු ඇතැයි අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර විශ්වාසය පළ කරනවා.

එක්සත් ජාතික පෙරමුණේ නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඔහු ඉකුත්දා දිවුරුම් දුන්නේ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍යවරයා ලෙසයි.

එහෙත් නීතිය හා සාමය පිළිබද අමාත්‍ය ධුරයටද තමන්ගේ නම යෝජනා වී ඇතැයි මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු පැවසුවා.

එහිදී "ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයා ලෙස මාව නම් කරලා යවලා තියෙනවා. ඉදිරියේදී ඒක ලැබෙයි කියලා මම හිතනවා." යනුවෙනි.

සරත් ෆොන්සේකාට අමාත්‍යධූරයක් ලබා දීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සහ ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට සහය පළ කිරීමට පැමිණි පිරිසට අමාත්‍යධූර ලබාදීමට ඇති වී තිබෙන ගැටලුව පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමේදී රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා සඳහන් කළේ තමා ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට අකමැති බවයි.

කෙසේවෙතත් ව්‍යවස්ථාවෙන් එසේ කිසි ගැටලුවක් නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඝාතනය කිරීමට සිදුවූ බව කියන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී ප‍්‍රශ්න කළා. අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ තමා ඇමතිවරයා ලෙස ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු ඉතා ස්වාධීනව සිදු කළ බවයි. තමා දන්නා ලෙස එහි කිසිඳු ඝාතන කුමන්ත්‍රණයක් නොමැති බවත් සඳහන් කළා.

අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මෙම අදහස් දැක්වූයේ ඊයේ (25) මහනුවර සංචාරය කළ අවස්ථාවේදීයි.
gossip lanka