ජනපති ඝාතන කුමන්ත්‍රණයක් නෑ - නාමල් කුමාර නාටකය බොරුවක් !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් සිදුවී නොමැති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (26) මහනා හිමිවරුන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
"මම අමාත්‍යවරයා විදියට ස්වාධීනව, අපක්ෂපාතීව, බොහොම දක්ෂ නිලධාරීන් යොදවලා පරීක්ෂණ සිදු කළා. මම දන්න විදියට නම් එතන ඝාතන කුමන්ත්‍රණයක් නෑ" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝටාබය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට මාධ්‍ය හරහා හෙළිදරව් කළේ දූෂණ විරෝධී බලකාය නම් සංවිධායක මෙහෙයුම් අධ්‍යක්ෂක යැයි කියන නාමල් කුමාර නමැත්තෙකු විසිනි. ඔහු මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන ඒකකයේ සේවය කළ පුද්ගලයකු බව ද පසුව හෙළිවිය.

ඔහුගේ මාධ්‍ය හමුවෙන් අනතුරුව මහත් ආන්දෝලනයක් ඇතිවූ අතර ත්‍රස්ත විමර්ශන ඒකකය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා එම චෝදනාව මත අත් අඩංගුවට පත්ව තවමත් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතව ය.

පසුගිය ඔක්තෝබර් 26 වනදා රටම අර්බුදයට පත් කරමින් ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට ද මෙම ඝාතන කුමන්ත්‍රණය මූලික හේතුවක් වූ බව ජනාධිපතිවරයා ම ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් මෙතෙක් කළ විමර්ශන වලින් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ ප්‍රමාණවත් සාක්ෂි සොයා ගැනීමට නොහැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද පසුගියදා රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව, මේ වන විට තහවුරු වී ඇත්තේ අප මුල සිටම පැවසූ පරිදි නාමල් කුමාරගේ නාටකය අසාර්ථක රංගනයක් වී ඇති බවයි.