වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතනයට හිටපු කොටි ප‍්‍රබලයෝ 2ක් දැලේ

මඩකලපුව වව්නතිව් ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප‍්‍රබල එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙදෙනකු ඊයේ් (02 වැනිදා) සවස වන විට විමර්ශන කණ්ඩායම් මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් දෙදෙනා එල්ටීටීඊයේ ජෙයන්තන් බලකායේ සිටි
අජන්තන් හා චාල්ස්‌ ඇන්තනි බලකායේ සිටි ප්‍රබලයකු වන රාසනායගම් සර්වානන්දන් බවට හඳුනාගෙන ඇත.

මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරක්‍ෂක බුද්ධි අංශ සහ පොලිසිය සිදුකරගෙන යන ඒකාබද්ධ මෙහෙයුමකට අනුවය. දැනට හෙළිවී තිබෙන කරුණු අනුව පොලිස්‌ නිලධාරීන් දෙදෙනා ඝාතනය කරනු ලැබුවේ එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් විසින් බව විමර්ශන කණ්‌ඩායම්වල වීශ්වාසය වී තිබේ.

අජන්තන් නමැති හිටපු ත්‍රස්‌තවාදියා සිද්ධිය වූ දිනම මඩකලපුවේදී පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිබිණි. රාසනායගම් සර්වානන්දන් ඊයේ (02 වැනිදා) අලුයම කිලිනොච්චිය ප්‍රදේශයේදී කොටුකර ගැනීමට විමර්ශන කණ්‌ඩායම් සමත්ව ඇත.

කිලිනොච්චියේදී අත්අඩංගුවට ගත් රාසනායගම් සර්වානන්දන් නමැති හිටපු කොටි ත්‍රස්‌තවාදියා ඊයේ දහවල් වන විට ප්‍රශ්න කිරීම සඳහා මඩකලපුවට රැගෙන ඒමට කටයුතු කර තිබිණි.

එල්ටීටීඊයේ මහවිරු දින සැමරුමට සහභාගි වීමට මඩකලපුවට පැමිණ සිටි රාසනායගම් සර්වානන්දන් මඩකලපුවේ සිට යළි කිලිනොච්චිය බලා පිටත්ව ගොස්‌ ඇත්තේ පොලිස්‌ නිලධාරීන් දෙදෙනා ඝාතනය කෙරුණු ඉකුත් 30 වැනිදා ( සිකුරාදා) රාත්‍රියේ බවටද තොරතුරු ලැබී තිබේ.

මඩකලපුවේදී පැවති එල්ටීටීඊයේ මහවිරු සැමරුම සංවිධානය කර ඇත්තේද අත්අඩංගුවට ගෙන සිටින අජන්තන් නමැති හිටපු කොටි ත්‍රස්‌තවාදියා වේ.

මෙම සිද්ධිය සම්බනAධයෙන් ඊයේ (02 වැනිදා) සවස වන විට හිටපු එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් නව දෙනකුගෙන් පමණ ප්‍රශ්න කිරීමටද පොලිසිය කටයුතු කර තිබිණි.

විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් එල්ටීටීඊයෙන් ඉවත් වන විට ඔහු අතහැර ගොස්‌ වන්නි කොටින්ට එකතු වූ ගනේෂන් ප්‍රභාකරන් නමැති හිටපු කොටි ත්‍රස්‌තවාදියකුද මෙහිදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රශ්න කිරීමෙන් පසු ඔවුන් සියලු දෙනා ඊයේ සවස්‌ වන විට මුදා හැර තිබිණි.

ආරක්‍ෂක බුද්ධි අංශවලද සහායෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ ඇතුළු පොලිසිය සිද්ධිය පිළිබඳ තවදුරටත් පුළුල් විමර්ශන සිදු කරයි.

- දිවයින