පොහොට්ටුව තාම මහින්දගේ සුදුසුකම් බලනවා...හොඳට හිටියොත් ගනී - රෝහිත අබේගුණවර්ධන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ඉල්ලා සිටි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු තම කණ්ඩායමේ සුදුසුකම් පිළිබඳව තවමත් එම පක්ෂය පරීක්ෂා කරන බවත් පසුගිය නොවැම්බර් 11 වනදා තමන්ට ලබා දුන්නේ මුදල් දුන් බවට ලැබෙනවා වැනි රිසිට් පතක් පමණක් බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

 පොහොට්ටුවට බඳවා ගන්නේ හොඳ අය පමණක් බවත් තමනුත් ගනීවිද නැතිද යන්න නොදන්නා බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේවෙතත් තමන්ගේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් ඒබව පැවසීමට බියක් නොමැති බවත් රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

එසේම එක්සත් ජාතික පෙරමුණු රජය අමාත්‍ය මණ්ඩලය 30ට වඩා වැඩි කිරීමට කටයුතු කළහොත් ඊට එරෙහිව අධිකරණය හමුවට යන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඊට අමතරව ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ද අධිකරණය හමුවට යාමට බලාපොරොත්තු වන බවයි ඒ මහතා සඳහන් කළේ.