ජනාධිපතිවරණය මුලින් තියන්නැයි අභියෝගයක් !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වී ජනාධිපතිවරණය මුලින් ම කැඳවන ලෙස අභියෝග කරන බව එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා ද ජනාධිපතිවරණය වසර දෙකකට පෙර පවත්වා ඇති බව පෙන්වා දුන් ඒ මහතා 2019 ජනවාරි 08 වනදායින් පසු ඕනෑම මොහොතක ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාව ජනාධිපතිවරයාට පවතින හෙයින් එසේ ජනාධිපතිවරණයක් කැඳවන ලෙස ඉල්ලා සිටින බව අවධාරණය කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ වත්මන් පාර්ලිමේන්තුවට වසර හතර හමාරක් සපිරෙන්නේ 2020 පෙබවාරි මාසයේදී බැවින් ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බවයි.

එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු මහමැතිවරණයක් සඳහා සූදානම් වන බවට එජාපෙ කැබිනට් අමාත්‍යවරයකු කළ ප්‍රකාශයක් පිළිබඳව ප්‍රශ්න කළ මොහොතේ මරික්කාර් මහතා පැවසුවේ එය අදාළ අමාත්‍යවරයාගේ පෞද්ගලික මතය විය හැකි බවයි. එසේ අප්‍රේල් මාසයෙන් පසු මහමැතිවරණයක් පිළිබඳ ඉඟි සපයා තිබුණේ නවීන් දිසානායක අමාත්‍යවරයා විසිනි.

අමාත්‍ය තනතුරු නොමැතිවත් තමන්ට පසුගිය වසර කිහිපය තුළ රුපියල් මිලියන 16,000ක පමණ වැඩ කිරීමට හැකිවූ බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. අමාත්‍ය තනතුරු පිළිබඳව නහයෙන් ඇඬීමට වඩා මහන්සි වී, අදාළ පුද්ගලයින්ගෙන් අවශ්‍ය සහයෝගය ලබාගෙන වැඩ කිරීම වැදගත් බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (27) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.