දූෂිතයන්ට කැබිනට් අගමැතිකම් දෙන්න එපා - සජිත්, නවීන් කියති

දූෂණ චෝදනා එල්ල වූ කිසිවකුට එක්සත් ජාතික පෙරමුණ කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර ලබා නොදිය යුතු බවට පෙරේදා (18දා) පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී පැවැති එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එජාපෙ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා අවධාරණය කර තිබේ.
එජාපෙ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්
පැවැති මෙම පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම මන්ත්‍රිවරුන් අවධාරණය කර ඇත්තේ හොරුන්ට හා දූෂිතයන්ට එරෙහිව ක්‍රියාකරන බවට ප්‍රතිඥා දී බලයට පැමිණි යහපාලන රජය එය ඉටු නොකිරීම පාක්‍ෂිකයන් බලවත් ලෙස කලකිරීමට පත්ව සිටින පසුබිමක ඇතිවූ ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණය එක්සත් ජාතික පෙරමුණට ආශීර්වාදයක් වූ බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික රජයෙන් මේ වන විට ඉවත්වී ඇති නිසා රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එක්සත් ජාතික පෙරමුණ රජයට බලවත් වගකීමක් පැවැරී ඇතිවාක් මෙන්ම ජනතාව තුළ විශාල බලාපොරොත්තුවක් ඇතිවී තිබෙන බැවින් දූෂණ හෝ වංචා චෝදනාවක් ලද කිසිවකු නව අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් කර නොගත යුතු යැයිද ඔවුහු පෙන්වා දී තිබේ.