ජනපති ඝාතන කුමන්ත්‍රණ පරීක්ෂණ ස්කොට්ලන්ඩ්යාර්ඩ්ට : ප්‍රභූ ඝානයකට නාමල්ගෙන් යොජනාවක් !

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයට අදාළ පරීක්ෂණ බ්‍රිතාන්‍යයේ (ස්කොට්ලන්ඩ්යාර්ඩ්) පොලීසියට පැවරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි වාර්තා වේ.

ආරක්ෂක, නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ මෙම තීන්දුව ගැන පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද දැනුම් දී ඇති බව පැවසේ.

මේ ගැන තොරතුරු හෙළිදරව් කළ නාමල් කුමාරගේ හඬපට මෙන්ම මූලික පරීක්ෂණ වාර්තාද (ස්කොට්ලන්ඩ්යාර්ඩ්) පොලීසියට යැවෙනු ඇති අතර අනතුරුව ස්කොට්ලන්ඩ්යාර්ඩ් පරීක්ෂකයන් ශ්‍රී ලංකාවට පැමිණ පරීක්ෂණ සිදුකරනු ඇතැයි “දේශය” පුවත්පත වාර්තා කර තිබේ.
නාමල්ගේ යෝජනාව

මේ අතර, නාමල් කුමාරගේ හඬපට පරික්ෂා කිරීමේදී මෙරට ආරක්ෂක ප්‍රධානියකු ඝාතනය කිරීමට නාමල් කුමාර විසින් සිදු කළ යෝජනාවක් අඩංගු හඬපටයක් ද සොයා ගැනීමට පරීක්ෂණ කණ්ඩායම් සමත්ව සිටින බව වාර්තා වේ.

නාමල් කුමාරගේ ජංගම දුරකථනය හොංකොං බලා රැගෙන ගිය නිලධාරීන් පසුගිය 14 වැනිදා නැවත ලංකාවට පැමිණි අතර එහිදී අදාළ විශේෂඥවරුන් විසින් එම ජංගම දුරකථනයේ මකා දමා තිබූ හඬ පට ගණනාවක් සොයා ගෙන එම හඬ පට ඇතුළත් කරන ලද දත්ත බහාලු (පෙන් ඩ්‍රයිව්) සහ එම විශේෂඥවරුන්ගේ වාර්තාවක්ද ලබාදී තිබිණි.

එය පසුගිය 19 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන් භාරයේ ඇති අදාළ හඬ පට හා අදාළ වාර්තාවේ පිටපත් ආශ්‍රයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බව ද මේ අතර වාර්තා වේ.