අලුත් අවුරුද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා කීපදෙනෙක් අත්අඩංගුවට !

පසුගිය මස පාර්ලිමේන්තුවේ කලහකාරී ලෙස හැසිරෙමින් රාජ්‍ය දේපළවලට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය නීතිපතිගේ උපදෙස් ලබා ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ සිදු වූ මේ සිදුවීමෙන් ලක්ෂ ගණනක රජයේ දේපළවලට අලාභ හානි සිදුව ඇති අතර එහිදී පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායයන් පවා කඩකරමින් සිදු කළ මේ ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයින් සී සී ටී වී කැමරා ඔස්සේ හඳුනාගෙන තිබේ.

මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට පත් කළ කමිටුව මේ වන පරීක්ෂණ අවසන් අදියරේ පවතින අතර තව දින කිහිපයකින් එහි වාර්තාව කථානායක කරු ජයසූරිය මහතා වෙත බාර දීමට නියමිත බවද පැවසේ.

එදින පාර්ලිමේන්තුවේ සිටි මාධ්‍යවේදීන්ගෙන් හා පාර්ලිමේන්තු සේවකයන්ගෙන් කට උත්තර ලබා ගැනීමද මේ අනුව සිදු කිරීමට නියමිතය.

රටේ නීතිය අනුව රාජ්‍ය දේපළවලට අලාභ හානි සිදු කරන ඕනෑම අයකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මාධ්‍යට පවසා තිබේ.

මේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයින්ද තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන නමුත් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ නොවන අයුරින් නීතිපතිවරයාගේ උපදෙස් හා කථානායකවරයාගේ අනුමැතිය පරිදි මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදන බවද ඔහු කියා සිටී.

මේ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රසන්න රණවීර, මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්තේ, රංජිත් සොයිසා, දිලුම් අමුණුගම, ජොන්ස්ටන් ප්‍රනාන්දු හා පාලිත තෙවරප්පෙරුම යන අයට චෝදනා එල්ලවී තිබේ.