ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ගන්න නීතිපති උපදෙස් !

ආණ්ඩුවටඑක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට අමාත්‍යධූර ලබා දීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නා බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි. මාධ්‍ය හමුවකදී නැගූ ප්‍රශ්ණ වලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඒ අතර එජාප මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තවත් මන්ත්‍රීවරු දහයකට වැඩි පිරිසක් ඉදිරිදින කිහිපය තුලදී ආණ්ඩුවට එකතු වෙන බවයි. 'ඉරිදා මව්බිම' පුවත්පතට ඔහු එබව ප්‍රකාශකර තිබිණ.
එහිදී ඔහු මෙසේද සඳහන් කර ඇත.

''තව ගොඩක් අය ආණ්ඩුවට එන්න අහනවා. එන හැමෝම අපි ගන්නේ නැහැ. තෝරලා බේරලා විතරයි ගන්නේ. අපේ වාසියට කියල දූෂණ වංචා තිබෙන අය ගන්නේ නැහැ. ඒ වගේම තමන් ගැන හිතන අයව අපි ගන්නේ නැහැ. අපට හානියක් නොවන පාර්ලිමේන්තු කණ්ඩායමත් එකඟ වන අයව තමයි පක්ෂයට ගන්නේ...

එජනිසයේ ඉන්න මන්ත්‍රිවරු තව දහයකට වඩා අපි එක්ක එකතු වෙනවා. සමහර විට ඊට වැඩි වෙන්නත් පුළුවන්. ශ්‍රීලනිපයේ ඉන්න බොහෝ දෙනෙක් අපි එක්ක කතා කරලා තියෙනවා. එතකොට අපට 120ක බහුතර ආණ්ඩුවක් හදාගන්න පුළුවන්.''

කැබ්නට් මණ්ඩලය වැඩි කිරීමේ සුදානමක් !

ඒ කියන්නේ නැවත ජාතික ආණ්ඩුවකටද යන්නේ? යයි මව්බිම කල විමසීමේදී එජාප මහ ලේකම්වරයා පවසන්නේ,

''නැහැ. ජාතික ආණ්ඩුවක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් පමණයි.'' කියාය.

කෙසේවුවද කැබිනට් මණ්ඩලය තවත් පුළුල් කිරීමක් ගැනද අදහස් දක්වා ඇති එජාප මහ ලේකම්වරයා, ''ඇමැතිවරු පත් කිරීමේදී අපි සාකච්ඡා කළා. අපි උත්සාහ කරනවා කැබිනට් ඇමැතිවරු 30කට සීමා කරන්න. නමුත් අවශ්‍ය වුණොත් කැබිනට් ඇමැතිවරු 35-40ද කියා අපි පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්නවා. හැබැයි අපි කැබිනට් එක 48ට වැඩි කරන්නේ නැහැ.'' යයි ද සඳහන් කර ඇත.

ජනපතිගේ එකඟත්වයක් නැහැ :

කෙසේවුවද, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ, යළි ජාතික ආණ්ඩුවක් සඳහා හෝ කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30ටක වඩා වැඩි කිරීමට ජනාධිපතිවරයා කිසිඳු අවසරයක් ලබා නොදෙනු ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සූදානම් වන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ගම්පහ පැවැති උත්සවයකින් අනතුරුව, මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු එබව පැවසිය.
gossip lanka