ආණ්ඩුවට එක්වූ ශ්‍රීලනිප අයට ඇමැති ධුර ජනවාරියේ !

ආණ්ඩුවට එක්ව සිටින සහ ඉදිරියේදී එක්වීමට සිටින ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ට ලබන ජනවාරි මාසයේදී ඇමැති ධුර දීමට හැකිවනු ඇතැයි එජාපෙ ජේ‍යෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.

මේ වනවිටත් ආණ්ඩුව සමඟ එක්ව සිටින විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, ඒ.එච්.එම්. ෆවුසි හා ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මන්ත්‍රිවරුන්ට ඉකුත් 20දා අමාත්‍ය ධුර දීමට නොහැකි වූයේ අභියාචනාධිකරණය මඟින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් බවත් ජනවාරි මාසයේදී එම පෙත්සම් විභාගය නිමවීමෙන් පසුව ඔවුන්ට අමාත්‍ය ධුර ලබා ගැනීමට ඇති බාධාව ඉවත්වන බවත් එම අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතාටද ඇමැති ධුරයක් ලබා ගැනීමට නීතිමය බාධාවක් නොමැති බවත් ජනාධිපතිවරයාගේ විදෙස් සංචාරය නිමකර මෙරටට පැමිණි පසු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර අමාත්‍ය ධුරයක් ලබා ගැනීමට හැකිවනු ඇති බවද ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

මංගල කියපු කතාව :

මේ අතර ඇමැති මංගල සමරවීර මහතා පැවසුයේ, ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට එක්වූ එච්.එම්. ෆවුසි, විජිත් විජිතමුණි සොයිසා, පියසේන ගමගේ ඇතුළු පිරිසට ඇමැතිධූර නොලැබුනේ අන් කිසිවක් නිසා නොව අභියාචනාධිකරණ තීන්දුව අනුව පෙර කැබිනට්ටුවේ ඇමැතිධූර දැරූවන්ට ඇමැති ධූර වල කටයුතු කිරීම වළක්වා ලබා දී ඇති වාරණ නියෝගය අනුව බවයි.

මාධ්‍ය සහ මුදල් අමාත්‍යාංශයේ වැඩ බාර ගත් අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුර දුන් අවස්ථාවේදී ඔහු එබව කියා සිටියේය.

එම අවස්ථාවට විජයමුනි සොයිසා මහතා ද සහභාගී වී සිටියේ ය.   එච්.එම්. ෆවුසි, විජිත් විජිතමුණි සොයිසා, පියසේන ගමගේ ආදීහු මෛත්‍රී - මහින්ද කැබිනට්ටුවේ ඇමැතිධූර ලැබූවෝ වෙති.

එම නඩුව අහරවක් වූ පසු ඔවුන්ට ඇමැති ධූර ලබා දෙන බව සමරවීර මහතා පවසා සිටියේය.