ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මෙහෙයවීමට පාතාලයත් සම්බන්ධ වෙලා !

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මෙහෙයවීම සඳහා පසුගිය කාලයේදී පාතාලය සම්බන්ධවී ඇති බවට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් තමාට එ් බව පැවසූ බව ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා ඊයේ (31 දා) පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

ලෝකයේ දූෂිතම ක්‍රිකට්‌ රාජ්‍යය ශ්‍රී ලංකාව බවට අයි.සී.සී.ය තහවුරු කරලා තියෙනවා. එතනදී නිලධාරීන් විසින් කරපු දේවල් තියෙනවා. නමුත් බුකියටත් එහා ගිය පාතාලය ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මෙහෙයවීමට ඉදිරියට ඇවිල්ලා කියලා තමයි අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා පැවසුවා' යෑයි ක්‍රීඩා ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානි ඇලේක්‌ෂ් මාෂල් මහතා සමග පසුගිය 26 වැනිදා පැවැති සාකච්ඡාවකදී ක්‍රීඩා ඇමැතිවරයාට එම තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට තමන් දන්නා සත්‍ය සිදුවීම් ප්‍රකාශ කිරීමට අයි.සී.සී.යෙන් සහන කාලයක්‌ ලබා දීමටද තීරණය කර තිබේ. එම කාලය ලබන සතිය ඇතුළතදී අයි.සී.සී.ය විසින් ලබාදෙන බව ක්‍රීඩා ඇමැතිවරයා පවසයි.

'පාතාලය සම්බන්ධ වූ බවට අයි.සී.සී. වාර්තාව තව මාස දෙකක්‌ ඇතුළත ඔවුන් ලබා දෙනවා. අපේ ක්‍රීඩා නීතියට අනුව වැරදිකරුවන්ට දඬුවම් කරන්න ක්‍රමවේදයක්‌ නැහැ. ඒ නිසා දැන් අලුත් නීතියක්‌ සකස්‌ කරලා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතියට යවලා තියෙනවා. කොහොම වුණත් තවම පරීක්‌ෂණ සිදුවෙන නිසා මට කියන්න බැහැ අයි.සී.සී.ය කියපු තොරතුරු. ඔවුන් මට සමහර අයගෙ නම් සහ ඡායාරූප පවා පෙන්නුවා' යෑයි ක්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

දිවයින