සබන් කියා ‘බේතින් බාර්’ විකුණා පාරිභෝගිකයින් මුලා කරයි මහාපරිමාණ සමාගමක සබන් ජාවාරමක් එළියට

අධික ලාබ ලබා ගැනීම සඳහා මහාපරිමාණ සමාගමක් විසින් සබන්වලට කෘත්‍රිම රසායනික සංයෝග එකතුකර බේදින් බාර් යන කාණ්ඩය යටතේ සබන්වලට වඩා මිළෙන් අඩු සබන් වැනි වූ සේදුම්කාරකයක් සඳහා SLS ප්‍රමිතියක් සකස්කරවා ගෙන ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.
මිනිස් සෞඛ්‍යට අහිතකර අයුරින් ක්‍රියාකරන මෙවැනි කූට වෙළෙඳුන් සඳහා නීතිය ක්‍රියාත්මක කරන බව හෙතෙම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියි සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

ලංකාවේ වලංගු ප්‍රමිතීන්ට අනුව ඇ‍ඟේ ගාන සබන් කැටයක් ලෙස හැඳින්වීම සදහා TFM (Total fatty matter ) අගය 76.5% ට වඩා වැඩි විය යුතුය. TFM අගය 76.5% ට වඩා අඩු නම් එම නිෂ්පාදනය සබන් කියා හැඳන්විය නොහැක. ඒවා බේදින් බාර් (Bathing Bar)ලෙස හඳුන්වයි.

සබන් කියා ඇ‍ඟේ ගාන බේදින් බාර් කැටයක අඩංගු TFM අගය 40% ක් දක්වා අඩු විය හැකිය. රෙදි සේදීමට ගන්නා කෘතිම සේදුම් කාරක අඩංගු නැති සබන් කැටයක TFM අගය 59% කි. බේදින් බාර්වල කෘත්‍රිම සේදුම්කාරක කොටස සඳහා එක් මහා පරිමාණ සමාගමක් විසින් ලොව පුරා රෙදි සෝදන කුඩු සහ පිඟන් සෝදන දියර සෑදීමට ගන්නා සෝඩියම් ඩොඩෙසයිල් බෙන්සීන් සල්ෆොනේට් - Sodium Dodecyl Benzene Sulfonate (SDBS) නැමති කෘත්‍රිම සේදුම් කාරකය එක්කර ඇත.

එම SDBS නැමති කෘත්‍රිම සේදුම් කාරකය ඇඟ ගල්වන නිෂ්පාදනවලට යෙදීමෙන් ඇස්වලට සහ සමට හානි සිදු විය හැකි බව පරියේෂණ මගින් ඔප්පු වී ඇත.

එසේ වුවද ලංකාවේ ඇති නීතිවල හිඩැස් වලින් රිංගා යන ඇතැම් මහා පරිමාණ සමාගම් SDBS යෙදූ බේදින් බාර්, සමට සුමුදු සබන් යයි කියා අලෙවි කරමින් සිටී.

පාරිභෝගිකයින්ගේ දැන ගැනීම සඳහා එම සබන් වර්ග නම් කර ඇත්තේ මෙසේය.