රූපවාහිනිය සහ ගුවන්විදුලිය මගේ යැයි ජනපති කීම නිසා තවත් අර්බුදයක් !

ඊයේ (20) රාජකාරි ආරම්භ කළ මංගල සමරවීර අමාත්‍යවරයා විසින් ජාතික රුපවාහිනියේ නව සභාපති ලෙස ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද මියද ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස සිද්ධික් මොහොමඩ් ෆාරුක්ද ඔක්තෝබර් 26ට පෙර පැවති ලෙසම සභාපතිවරුන් ලෙස යලි නම් කරනු ලැබුවා.

නමුත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය පෙරළියෙන් පසු එජාප ප්‍රචාරණය වෙනුවට මහින්ද රාජපක්ෂ මහතාටත් තමාත් ප්‍රචාරණය පිණිස රාජ්‍ය මාධ්‍ය යොදාගැනීමට අපේක්ෂා කරන නිසා දින 50 කාලයේ සභාපතිවරුන් නැවත පිහිටුවීමට උනන්දුවී ඇතැයි ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබෙනවා.
ජනමාධ්‍ය විෂයට අදාළ සංස්ථා තවම ගැසට් කර නැති අතර සඳුදා නිකුත් කරන්නට නියමිත ගැසට්ටුවේදී රූපවාහිනිය හා ගුවන් විදුලිය තමන් භාරයට ගන්නට ජනපති කටයුතු කරන්නට යන බව වාර්තා වෙයි.

දින 50 රජයේ රූපවාහිනියේ සභාපති ධුරය දරන නීතිඥ සරත් කෝන්ගහගේට හා ගුවන්විදුලියේ සභාපති වශයෙන් කටයුතු කළ සෝමරත්න දිසානායකට එම ධුර වලින් ඉවත් නොවන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම්දී ඇතැයිද වාර්තා වෙයි.

මංගල සමරවීරගේ දැනුම් දීම මත ඉනෝකා සත්‍යංගනී මිය අද (21) දිනයේ රූපවාහිනියේ වැඩ බාර ගැනීමට නියමිතව තිබියදී ඊයේ කෝන්ගහගේ සේවකයින් අමතා ආයතනයෙන් ඉවත්ව ගොස් තිබූ නමුත් ජනාධිපතිවරයා ඊයේ රාත්‍රීයේ ඔහුට දුරකථන ඇමතුමක් ලබාදෙමින් තනතුරින් ඉවත් නොවන ලෙස දැනුම් දුන් බවද වාර්තා වෙයි.

 19 වෙනි සංශෝධනයේ 50 (අ) වගන්තිය අනුව, ජනාධිපතිවරයා විසින් යම් විෂයයක් හෝ කර්තව්‍යයක් පවරා ගත හැක්කේ අග්‍රාමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව වන අතර, ඔහු යටතේ තබා ගත යුතු අමාත්‍යංශ තීරණය කළ හැකි වන්නේ ද එවැනිම එකඟත්වයක් මතයි.