ප්‍රශ්න ඉවරයි, ජනාධිපතිට ඇත්තේ භාරකාර ලෙස කටයුතු කිරීමයි - සුජීව

මෙතෙක් පැවති ප්‍රශ්න නිමවී ඇති හෙයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඉදිරි ගමනක් යා හැකි බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තම රජයේ අමාත්‍ය ධුර නොදරන නිසා ජනාධිපතිවරයාට ඇත්තේ භාරකාර ජනාධිපති ධුරයක් ලෙස තනතුර හොබවමින් තම රජයට සහාය ලබාදීම බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
ගියවර ලැබුණු අමාත්‍යාංශයේදී තමන්ට කිසිවක් කිරීමට ඉඩ නොලැබුණු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ගියවර තමන්ට ලැබුණේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් බවත් එහි විෂය කිසිවක් තමන්ට ගැසට් කර නොතිබුණු බවත් මෙවර තමන් අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන නිසා තමන්ට හොඳ වැඩ කොටසක් ඉටු කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවත්ය.

ලැබෙන තනතුරෙන් රටේ ජනතාවට උපරිම සේවය කිරීමට බලාපොරොත්තු වන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

අමාත්‍ය තනතුරෙහි දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සේනසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.