දෙමළ ජාතික සන්ධානය මුල් ස්ථාවරය වෙනස් කළා - එජාපය හෙළි කරයි

එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර රහස් කොන්දේසි කිසිවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයා ගමගේ පවසනවා. ඔහු ඒ බව පැවසුවේ උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (05) කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින්.

උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා ඊයේ කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර අලූතින් ඇති වී තිබෙන ගිවිසුම රටට අන්තරායකර බවයි. එහි කොන්දේසි ඔවුන් රටට හෙළි කළ යුතු බවද මන්ත‍්‍රීවරයා කියා සිටියා.
ඊට ප‍්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයා ගමගේ වැඩි දුරටත් සඳහන් කළේ මේ අවස්ථාවේ කොන්දේසි විරහිතව දෙමළ ජාතික සන්ධානය පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණද එකතු වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බවයි.

දෙමළ ජාතික සන්ධානය සිය මුල් ස්ථාවරයන් වෙනස් කරමින් රටට හිතකර එකඟතා කිහිපයකට ඉකුත් සමයේ එළඹි බවද දයා ගමගේ මන්ත‍්‍රීවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.

එහිදී "දෙමළ ජාතික සන්ධානය බෞද්ධාගමට මුල්තැන දෙනවා කියන එකට එකඟ වුණා. ඒ වගේම ඔවුන් ඒකීය රටක් කියන එකට එකඟ වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා හැමදාම බෙදුම්වාදය ගැන කතා කරනවා. එහෙම කථා කරන ඔවුන්ම තමයි එදා ප්‍රභාකරන්ට මුදල් දීලා දෙමළ ජනතාවගේ ඡන්දය දාන එක නැවැත්තුවේ. ඒක ඔවුන් නොකරා නම් අද රට මෙතන නෙමෙයි තියෙන්නේ. මීට වඩා හොඳ රටක ජීවත් වෙන්න තිබුණා." යනුවෙන් සඳහන් කළා.

දේශපාලන වාසි සඳහා තවදුරටත් ජාතිවාදිය යොදා නොගන්නැයි සියලූදෙනාගෙන් නැවත ඉල්ලා සිටින බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයා ගමගේ කියා සිටියා.