සුනාමි ඛේදවාචකයට අදට වසර 14ක් - මියගිය අය සිහිපත් කෙරෙන විනාඩි දෙකක නිෂ්ශබ්දතාවය උදෑසන 9.25ට

සුනාමි රළ පෙළ ශී‍්‍ර ලංකාවට කඩා වැදී අදට (26) වසර 14 ක් සම්පූර්ණ වනවා.

ඒ බව සිහිපත් කරමින් විවිධ වැඩසටහන් ස්ථාන කිහිපයකම සංවිධාන කර තිබෙන බවයි ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර කියාසිටියේ.
මියගිය හා තුවාල ලැබූවන් පිළිබද ගෞරවයෙන් සිහිපත් කරමින් මෙම වැඩසටහන සඳහා එක්වන්නැයි අමාත්‍යවරයා ඉල්ලීමක්ද කළා.

සුනාමියෙන් මියගිය අය සිහිපත් කිරීම සඳහා ප‍්‍රකාශිත විනාඩි දෙකක නිෂ්ශබ්දතාව උදෑසන 9.25 සිට 9.27 දක්වා යෙදී තිබෙනවා.

මේ අතර ආපදා සඳහා මුහුණදීමට දැන් ශී‍්‍ර ලංකාව සතුව පෙරට වඩා ශක්තිමත් යාන්ත‍්‍රණයක් තිබෙන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. සුනාමියෙන් ඉගෙනගත් පාඩම්ද සැළකිල්ලට ගෙන මෙම යාන්ත‍්‍රණය සකස් කෙරෙන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ.

මහජනතාවද ආපදා වළක්වා ගැනීමට නිරන්තර විමසිල්ලෙන් සිටීම වැදගත් වන බවද මෙහිදී සිහිපත් කෙරුණා.