අතුරු සම්මත ගිණුමට ඡන්දය නොදුන් එජාප 12ට රතු එළියක් !

එක්සත් ජාතික පෙරමුණේ නව ආණ්ඩුව ප්‍රථමයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුවට නොපැමිණි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 12 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජේ‍යෂ්ඨ නියෝජිතයකු ප්‍රකාශ කළේය.
 පසුගිය 21 වැනිදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුම සඳහා ඡන්දය විමසූ අවස්ථාවේදී ඊට පක්ෂව ඡන්ද 102ක් හිමිවිය.
මෙම ඡන්ද විමසීමට පෙර පැවැති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ඡන්ද විමසීමට සියලු දෙනාම අනිවාර්යෙන්ම සහභාගි විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් විසින් දැනුම් දෙන ලැබ තිබිණි.

එසේ දන්වා තිබියදීත් ආණ්ඩුවට ඉතා වැදගත් වන මෙම අතුරු සම්මත ගිණුම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 12 දෙනකු නොපැමිණීම බරපතළ වරදක් බවත් මේ ගැන ඉතා කඩිනමින් ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසන බවත් එජාපයේ ජේ‍යෂ්ඨ දේශපාලන නියෝජිතයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 මව්බිම
gossip lanka