නව වසර ආරම්භයේදීම එජාපයෙන් ඉඟියක් !

මෙම වසරේදී මහ මැතිවරණයක් පවත්වා ඉන් ජයග‍්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්‍ෂය අපේක්‍ෂා කරන බව එහි මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

උදා වූ නව වසරේ පක්‍ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබද අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.
එහිදී "අපි බලාපොරොත්තුවෙනවා මේ වසරේදී ජාතික මැතිවරණයකට ගිහින් ජයග්‍රහණය කරන්න. තවත් වසර 10ක් ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයක් අපිට තියෙනවා. ඉදිරි මැතිවරණයේදී අපි පුළුල් පෙරමුණකින් එන්නේ." යනුවෙන් සඳහන් කළා.

එක්සත් ජාතික පක්‍ෂයට ප‍්‍රබල අභියෝග රැසක් ජය ගැනීමට හැකි වූ බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නව වසර වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ, සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේයි.

එම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සහ අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, ලක්‍ෂ්මන් කිරිඇල්ල සහ ගයන්ත කරුණාතිලක ඇතුළු පක්‍ෂයේ නියෝජිතයින් රැසක්ද එක්ව සිටියා.